මුදල් කොන්ත්‍රාත් පදනම මත කඩුමන්නාවලින් පහරදී මනුෂ්‍ය ඝාතන, පහරදීම් සහ බිය වැද්දවීම් සිදු කරන සංවිධානාත්මක අපරාධ කල්ලියක සිව්දෙනකු අත්අඩංගුවට ගැනීමට කළුතර අපරාධ කොට්ඨාසය සමත්ව ඇත.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ, පානදුර, පයාගල, බණ්ඩාරගම සහ ඌරගහ ප්‍රදේශයේ පදිංචි 30,32, 36 සහ 51යන වයස් කාණ්ඩවල පුද්ගලයින් සිව්දෙනකු බව පොලීසිය පවසයි.
ඉකුත් අප්‍රේල් 17 වැනිදා රාත්‍රී බණ්ඩාරගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට මන්නාවලින් පහරදී බරපතළ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, අඩි තුනකට වඩා දිග කඩුවක්, මන්නා දෙකක්, අපරාධ සඳහා යොදාගත් බව කියන ජංගම දුරකතන තුනක් සහ හෙරොයින් මත්කුඩු පැකට් තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට පත්වූවන් අතර පසුගිය වසරේ පානදුර ප්‍රධාන ඇඟලුම් කර්මාන්ත ශාලාවක් තුළදී එළව එළවා මන්නා පහර එල්ලකර පුද්ගලයකු කපා කොටා ඝාතනය කළ ප්‍රධාන සැකකරුවන්ද සිටින බව පොලීසිය පැවැසීය.
සැකකරුවන් ප්‍රදේශයේ පහරදීම් සහ බියවැද්දීම් සිදු කිරීම සම්බන්ධයෙන් ජනතාව භීතියට පත්ව සිටින බවටද හෙළිව ඇති බව වැටලීම සිදු කළ උසස් නිලධාරියෙක් පැවැසීය. සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
පොතුපිටිය – සුමිත් ප්‍රේමතිලක