උකුළු ඇට බද්ධ කිරීමේ අවශ්‍යතාවකින් රෝගාතුරව රෝද පුටුවක් ආධාරයෙන් පාසල් ගොස් පාසලෙන් දෙන අධ්‍යාපනය පමණක් හදාරා 2024 උසස් පෙළ විභාගයට කලා අංශයෙන් පෙනී සිට A සාමාර්ථ තුනක් ලබා ගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගැනීමට රත්නපුර, රක්වාන, දෙමුවාත මහා විද්‍යාලයේ ශිෂ්‍යාවකට හැකි වී ඇත. රක්වාන, දෙමුවාත මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ආර්.එල්. කාවින්දි ගීතාංජලී සෙනෙවිරත්න මෙවර පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව A සාමාර්ථ තුනක් ලබාගෙන සිය දෛවයට අභියෝග කරමින් රත්නපුර දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානය සහ දිවයිනේ පස්වැනියා ලෙස සිය ජයග්‍රහණය තහවුරු කරගෙන සිටීමට වාසනාව ලැබුවාය.
මේ දිරිය දියණියගේ උකුළු ඇට බද්ධකිරීමක් සැත්කමක් මඟින් කළයුතුව ඇතැයි වෛද්‍ය නිගමනය වී තිබේ.ඇයට සාමාන්‍ය ලෙස ඇවිදීමට නොහැකි ආබාධිත තත්ත්වයකින් පෙළෙන්නේ වසර ගණනක සිටය. කාවින්දි නව වැනි වසරේ ඉගෙනුම ලබද්දි ඒ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වුවත් ඇය ජීවිතය ජයග්‍රහණය කිරීමට ඉන් පන්නරයක් ලබාගත් බව කීවාය.
මේ නිසා රෝද පුටුවේ සිට ඉගෙනගත් ඇය පාසල් ගියේ ත්‍රිරෝද රථයකිනි. පියා වෙන්වීම නිසා කාවින්දිගේ මව ජීවන සටන මෙන්ම දියණියගේ රෝගී තත්ත්වයේ ප්‍රතිකාර සහ අධ්‍යාපනය සඳහා ද කුලියට ඇඳුම් මැසුවාය.
තම ආබාධිත තත්ත්වයේ අභියෝගයට ඇය උත්තර දුන්නේ උසස් පෙළ වාර්තාගත ලෙස සමත්වීමෙනි. පාසලෙන් සහ එක් විෂයකට බාහිර පන්ති ගිය ඇය අන්තර්ජාලයේ සැරිසරමින් අධ්‍යාපන කටයුතු කළාය.ඇයගේ සැත්කමට රුපියල් ලක්ෂ 30ක් අවශ්‍ය වන අතර ඉන් කොටසක් මේ වනවිටත් පරිත්‍යාගශීලීන්ගෙන් ලැබී තිබේ. ලබන මස සිදු කෙරෙන සැත්කමට ඇය පරිත්‍යාගශීලීන්ගේ කාරුණික උපකාර අපේක්ෂා කරන්නීය.
සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් ආර්.එල්. කාවින්දි ගිතාංජලී සෙනෙවිරත්න ශිෂ්‍යාව මෙසේ පැවසුවාය.
Òමගේ එකම බලාපොරොත්තුව නීති පීඨයට ඇතුළත්ව නීතිඥවරියක වී අපි වගේ ගම්බදව සිටින දුප්පත් මිනිසුන්ට සේවය කිරීමයි. මට මේක හීනයක් වගේ. මම ගොඩක් දුෂ්කරතා මැද තමයි අධ්‍යාපන කටයුතු කරගෙන ගියේ. කිසිම දවසක උපකාර පන්ති ගියේ නැහැ. පාසලේ විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය තමයි මට උදව් කළේ. මීට අමතරව නිෙවසේ සිට මාර්ගගත ක්‍රමයට අමාරු පාඩම් ඉගෙන ගත්තා. මං වගේ අයට අනාගතය සාර්ථක කරගන්න ඇති එකම මාර්ගය ඉගෙන ගන්න එක කියලා හිතලා මම ගොඩක් මහන්සි වුණා. දේශපාලන විද්‍යාව, භූගෝලය සහ මාධ්‍ය හා සන්නිවේදනය මම උසස් පෙළට හැදෑරුවා. ඒ විෂයන් තුනටම ඒ සාමාර්ථ තුනක් සමඟ ලංකාවේ පස්වැනි ස්ථානය ලැබීම සතුටක්. මා වෙනුවෙන් දුක් මහන්සි වූ මගේ අම්මාට මම ණය ගැතියි. මොකද මට ඉගෙන ගන්න වගේම මම වගේ කෙනෙක් රැක බලාගැනීමත් පහසු දෙයක් නොවුණත් අම්මා එය කළා. මට අසනීප වූ මුල් අවුරුදු දෙකේදී පාසල් යන්න බැරි වුණා. සාමන්‍ය පෙළ සමත් වුණේ මාස හයක් පාසල් ගිහින්. මට ගෙදර ඇඳේ ඉන්නවිට සිතුණු දෙයක් තමයි උත්සාහයෙන් ඉගෙන ගන්නවා කියන එක. ඒක විතරයි අපට ගොඩඑන්න ඉතිරිව තිබුණේ. ඒ නිසා මගේ මනස ශක්තිමත් කර ගත්තා. මම ඉලක්කයකට අධිෂ්ඨානයෙන් වැඩ කළා. උසස් පෙළ කරද්දි පාසල් ගියේ ගෙදර ඉඳන් ත්‍රිරෝද රථයකින්. පාසල ළඟදී රෝද පුටුවෙන් පන්තියට ගියා. සාමාන්‍ය පුටුවක වාඩි වෙන්න බැරි නිසා රෝද පුටුවේ තමයි වාඩි වෙලා හිටියේ. විදුහල්පති, ගුරුවරුන් වගේම පන්තියේ යහළුවන් මට උදව් කළා. ඒ හැමෝටම ස්තුතියි. එක විෂයකට උපකාර පන්තියකට පමණක් ගොඩකවෙලට ගියේත් ත්‍රිරෝද රථයකින්. මම බලාපොරොත්තු වුණා විශිෂ්ට ප්‍රතිඵලයක්. ඒත් ලංකාවේ පස්වැනියා වෙයි කියා හිතුණේ නැහැ.”
දියණියගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ඇගේ මව වන පී.ඒ. ගයානි අනුරුද්ධිකා මහත්මිය මෙසේ පැවසුවාය.Ó මට ඉන්නේ මේ දරුවා විතරයි. දුව අසනීප වූ පසු තාත්තා එයාව දාලා ගියා. මම ගොඩක් අසරණ වුණා. පස්සේ මම කුලියට ඇඳුම් මහලා තමයි දරුවාට ඉගැන්නුවේ. දුවට උකුළු ඇට බද්ධ කිරීමේ සැත්කමක් කරන්න තියෙනවා. ඒකට ලොකු මුදලක් වැය වෙනවා. දරුවා විශ්වවිද්‍යාලයට යන්න කලින් මේ සැත්කම කරන්න කවුරු හරි පරිත්‍යාගශීලියකු උදව් කරයි කියලා බලාපොරොත්තු වෙනවා” යැයිද ඇය වැඩිදුරටත් පැවසුවාය.
වසර 84 ක පාසල් ඉතිහාසයේ ප්‍රථම වතාවට හිමිකරගත් මේ ජයග්‍රහණය සම්බන්ධයෙන් දෙමුවාත මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය වන අයි.එස්. එච්. මිපිටිය මහත්මිය මෙසේ පැවසුවාය. මේ ශිෂ්‍යාව ලැබූ ජයග්‍රහණය ගැන අපට ආඩම්බරයි. ඇයගේ දක්ෂතාවන් ගැන අපි හඳුනාගෙන හිටියා. ඇයට ඇති අසනීප තත්ත්වය තේරුම් ගෙන පාසලෙන් දෙන්න පුළුවන් හැම සහයෝගයක්ම දුන්නා. ඉදිරියටත් එවැනි සහයෝගයක් ලබාදී ඇගේ අනාගත බලාපොරොත්තු සපල කර ගැනීමට උදව් කරනවා යැයි ද පැවසුවාය.
රක්වාන විශේෂ
ඉන්දික සී. කුමාර සහ
රත්නපුර දිස්ත්‍රික් විශේෂ
ලසන්ත නිරෝෂණ පෙරේරා