Home » කළුතර දිස්ත්‍රික් ඉංජිනේරු තාක්ෂණවේද 2 වැනි ස්ථානය – හොරණ තක්ෂිලාවේ රසිදු තිමෙත්
නෙට්වර්ක් ඉංජිනේරුවරයෙක් වෙන්න ආසයි

කළුතර දිස්ත්‍රික් ඉංජිනේරු තාක්ෂණවේද 2 වැනි ස්ථානය – හොරණ තක්ෂිලාවේ රසිදු තිමෙත්

by sachintha
April 30, 2025 1:49 am 0 comment

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් ඉංජිනේරු තාක්ෂණවේදය අංශයෙන් කළුතර දිස්ත්‍රික්කයේ 2 වැනි ස්ථානය හිමි කර ගැනීමට හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ රසිදු තිමෙත් සිසුවාට හැකි වී තිබේ.

ඔලබොඩුව ශ්‍රී සුමංගල විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා ඇති රසිදු ශිෂ්‍යත්ව විභාගය සමත්ව හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට ඇතුළත්ව ඇති අතර, උසස් පෙළ අධ්‍යාපන කටයුතු සඳහා හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයට ඇතුළත්ව ඇත.

ඔහු තමන් ලැබූ ජයග්‍රහණය පිළිබඳ පැවසුවේ මෙලෙසිනි.

“ඉංජිනේරු තාක්ෂණවේදය, තාක්ෂණවේදය සඳහා විද්‍යාව, තොරතුරු තාක්ෂණය යන විෂයන් තමයි මම ඉගෙන ගත්තේ. මම මුල ඉඳලම විභාගෙට සූදානම් වුණා. එදිනෙදා වැඩ එදිනෙදාම කළා. පහුවදාට ඉතුරු කළේ නෑ. ගෙදර වැඩ, අනෙකුත් ක්‍රියාකාරකම් කල් ඇතුව කාලය කළමනාකරණය කරගෙන තමයි කළේ. මොඩල් පේපර්ස් හොයාගෙන යාළුවො එක්ක ෂෙයා කරගෙන කළා. ගොඩක් වෙලාවට යාළුවො එක්ක එකතු වෙලා තමයි පාඩම් කළේ. යාළුවන්ගෙන් ගුරුවරුන්ගෙන් බැරි දේවල් අහ ගත්තා. ඒ වගෙම මම දන්න දේවල් යාළුවන්ට කියල දුන්නා. ගෙදරිනුත් මට ලොකු සහයෝගයක් ලැබුණා. තාක්ෂණවේදය සඳහා විද්‍යාව ඉගැන්නුව නිලුපුලා මිස් ගොඩක් උදව් කළා. SFT කියන්නෙ වෙනමම විෂයක්. ඒකට ගොඩක් උදව් ගන්න පුළුවන් වුණා නිලුපුලා මිස්ගෙන්. IT කරපු මධුභාෂිණී මිස්, ඒ වගේම ඉංජීනේරු තාක්ෂණවේදය කළ නෙරංජලා මිස්, සිසිල් සර් මතක් කරන්න ඕනෑ. ගොඩක් සහයෝගය ලබා දුන්නා මේ වගේ ප්‍රතිඵලයකට. නිලූක වීරසිංහ විදුහල්පතිතුමාගෙන් ලැබුණ සහයෝගයත් මතක් කරන්න ඕනෑ. ඒ ලෙවල් රිසල්ට් එකෙන් පස්සේ පහුවෙලා තමයි අපට පංති පටන් ගත්තෙ. ඒ වුණාට අවුරුදු දෙකට තියන්න ඕනෑ විභාග හයම තිබ්බා. කොහොම හරි ඒ කාලේ ඇතුළත ප්‍රැක්ටිකල්වලට අවශ්‍ය බඩු සේරම සපයලා දුන්නා. ඒවට හරියන අධ්‍යාපන පහසුකම් සපයලා දුන්නා. මම මේ වගේ ප්‍රතිඵලයක් ලැබෙයි කියලා ලොකුවට හිතුවේ නෑ . ලොකු බලාපොරොත්තුවක් නං තිබුණෙ නෑ. ඒ වුණාට දැන්නම් දැනෙන සතුට විස්තර කරන්න වචන නෑ. නෙට්වර්ක් ඉංජිනේරුවරයෙක් වෙන්න තමයි ආසාවෙන් ඉන්නෙ.

ගෝනපල, ඔලබොඩුව පදිංචි නිහාල් සමන්ත කුමාර හා ගයානි අතුකෝරල දෙපළගේ වැඩිමහල් දරුවා වන රසිදු තිමෙත්ගෙ බාල සහෝදරයා පලන්නොරුව මහා විද්‍යාලයේ අ.පො.ස. සාපෙළ විභාගයට පෙනී සිට ඇත.

හල්තොට සමූහ – විනීතා මානෙල් ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT