Home » කථිකාචාර්යවරියක් වෙන්න බලාපොරොත්තු වෙනවා

කථිකාචාර්යවරියක් වෙන්න බලාපොරොත්තු වෙනවා

-කළුතර දිස්ත්‍රික්කයේ වාණිජ 2 වැන්නා හොරණ ශ්‍රීපාලියේ පසදි පියත්මා

by sachintha
April 30, 2025 1:50 am 0 comment

“වාණිජ අංශයෙන් කළුතර දිස්ත්‍රික්කයේ 2 වැනි ස්ථානය ලැබීම ගැන මට හරි සතුටුයි. ඉගෙනගෙන කවුරු වෙනවද කියලා ලොකු බලාපොරොත්තුවක් මට නැහැ. ඒත් කවද හරි දවසක කථිකාචාර්යවරියක් වෙන්න ලැබෙනවානම් මං ආසයි.” යැයි හොරණ ශ්‍රීපාලි විද්‍යාලයේ ඊ.ඒ. පසදි පියත්මා සිසුවිය පැවසුවාය.

ඇය මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් ‍ඒ සාමාර්ථ 3ක් ලබාගෙන කළුතර දිස්ත්‍රික්කයෙන් 2 වැනි ස්ථානයත්, දිවයිනෙන් 11 වැනි ස්ථානයත් හිමි කරගෙන තිබේ. ඉගෙනීමට මෙන්ම විෂය බාහිර කටයුතුවලත් එක ලෙස නියැළෙන පසදි හොරණ ශ්‍රීපාලි විදුහලේ ක්‍රියාකාරී දක්ෂ සිසුවියකි. හොරණ, බැල්ලපිටිය, මංගලසිරිපුර ප්‍රදේශයේ පදිංචි පසදි පියත්මාගේ පියා හොරණ රාජකීය විද්‍යාලයේ ගණිත ගුරුවරයකු වන බී.ඒ.ඩී. ප්‍රසන්න මහතා වන අතර, හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රධාන හෙද නිලධාරිනී ඩී.ඒ.එම්.කේ. කන්නන්ගර මහත්මිය ඇගේ මවයි.

තම ජයග්‍රහණය සම්බන්ධයෙන් ඇය වැඩිදුරටත් මෙසේද පැවසුවාය.

“මම එක වසරෙ ඉඳලම ඉගෙන ගත්තෙ හොරණ ශ්‍රීපාලි විද්‍යාලයේ. ශිෂ්‍යත්ව විභාගයට මට ලකුණු 175ක් තියෙනවා. සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගෙන ඒ 9ක් ගත්තා. මම සාමාන්‍ය පෙළට වාණිජ විෂය ඉගෙන ගත්තා. ඒ කැමැත්ත මත උසස් පෙළටත් වාණිජ අංශය තෝර ගත්තා. මම හැමදාම ඉස්කෝලේ ගියා. යාළුවො මට විහිලුත් කරනවා ඒකට. 13 වසරෙදි සමහර දාට මම විතරයි සෙක්ෂන් එකටම ඉස්කෝලේ ඇවිත් හිටියෙ. මම ඉස්කෝලේ හුඟාක් බාහිර වැඩ කළා. සෞඛ්‍යදාන අංශයේ නායිකාව මම. රිය නියාමක අංශයේ නායිකාව මම. ඒ වගේම බෞද්ධ සංගමයේ, පුස්තකාල සංගමයේ වගේ ගොඩක් බාහිර වැඩ කළා. පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව විදියට මං කටයුතු කළා. ඉස්කෝලෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. ප්‍රින්සිපල් මැඩම් අනූෂා දමයන්ති මහත්මිය ඇතුළු මගේ පන්තිභාර ගුරුතුමිය නයනා ශාන්ති මිස් වගේම අනිත් සියලුම ගුරුවරු මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. සර්ල, මිස්ල මම පාන්දර දාන ප්‍රශ්නවලට එවෙලෙම උත්තර දුන්නා කරදරයක් කියල හිතන්නෙ නැතුව. මට මේ රෑන්ක් එකට එන්න ගුරුවරුන්ගෙන් ලැබුණ සහාය හුගක් වටිනවා. ඒ වගේම මම පසුගිය ප්‍රශ්න පත්‍ර 2023 ඉඳල ආපස්සට හොයාගෙන කළා. මට ගෙදරිනුත් ලොකු සහයෝගයක් ලැබුණා මේ ප්‍රතිඵල ලබා ගන්න. මගේ අම්මා, තාත්තා වගේම අයියා, අක්කා, නංගිත් මට එක වගේම උදව් කළා පාඩම් වැඩ නිදහසේ කරගන්න.”

හල්තොට සමූහ විනීතා මානෙල් ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT