වාරියපොළ බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙකුට දීමට කලිසම් සාක්කුවේ සහ ඉණ පටියේ හෙරොයින් මිලිග්‍රෑම් 4200ක් සූක්ෂ්ම ලෙස රැගෙන ආ පුද්ගලයෙකු වාරියපොළ බන්ධනාගාර නිලධාරීන් විසින් අල්ලාගෙන පෙරේදා (28) වාරියපොළ පොලීසියට භාරදී තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දැතවගම, දඹදෙණිය ප්‍රදේශයේ 35 හැවිරිදි ශානක ධර්ම කීර්ති නමැති පුද්ගලයෙකි.
සැකකරුවන්ට බන්ධනාගාරය තුළදී ඇඳීමට දීම සඳහා රැගෙන ආ කොට කලිසමක ඉණ වාටියේ සහ කලිසම් සාක්කුවේ තබා මෙම මත්ද්‍රව්‍ය නොහැලෙන ආකාරයට මසා ගෙනවිත් ඇති අතර, බන්ධනාගාර නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේදී එය සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා මීට පෙර අවස්ථා ගණනාවකදී පෙර වැරදි සහිත පුද්ගලයෙකු බවටත් නාරම්මල ප්‍රදේශයේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ගෝලයකු බවට පොලීසිය හඳුනාගෙන ඇත. ඔහු සූක්ෂ්ම ආකාරයට රැගෙන යාමට උත්සාහ කළ මත්ද්‍රව්‍ය අතර හෙරොයින් මිලිග්‍රෑම් 4200ට අමතරව, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 400ක් සහ මුදල් රුපියල් 7000ක් ද සොයාගෙන තිබේ.
වාරියපොළ බන්ධනාගාර අධිකාරී ඩබ්.ඩබ්.එල්.පී. වර්ණකුලසූරිය මහතාගේ උපදෙස් පරිදි බන්ධනාගාර නිලධාරීන් විසින් මෙම පරීක්ෂාව සිදු කර ඇති අතර, නීතිමය කටයුතු සිදු කිරීම සඳහා වාරියපොළ පොලීසියට අදාළ පුද්ගලයා භාර දී තිබේ.
කුරුණෑගල – කුමාරි දිසානායක