Home » ටොරින්ටන් ජිම්නාස්ටික් මධ්‍යස්ථානයේ පෞද්ගලික ඇකඩමියක් පවත්වන බවට අමාත්‍යාංශයෙන් වැටුප් ගන්නා ක්‍රීඩා නිලධාරියකුට චෝදනා

ටොරින්ටන් ජිම්නාස්ටික් මධ්‍යස්ථානයේ පෞද්ගලික ඇකඩමියක් පවත්වන බවට අමාත්‍යාංශයෙන් වැටුප් ගන්නා ක්‍රීඩා නිලධාරියකුට චෝදනා

- ක්‍රීඩා ලේකම්ට සහ අධ්‍යක්ෂ ජනරාල්ට මවුපියන්ගෙන් ලිඛිත පැමිණිල්ලක්

by sachintha
April 30, 2025 2:52 am 0 comment

ක්‍රීඩා අමාත්‍යාංශය සතු ටොරින්ටන් ක්‍රීඩාංගණයේ පිහිටි ජිම්නාස්ටික් ක්‍රීඩා මධ්‍යස්ථානය හා ක්‍රීඩා උපකරණ භාවිත කරමින් පෞද්ගලික ජිම්නාස්ටික් සංගමයක් පවත්වාගෙන යන බව කියන ක්‍රීඩා අමාත්‍යාංශයෙන් වැටුප් ලබන ක්‍රීඩා නිලධාරියකු සම්බන්ධව සහ ඔහු විසින් සිදු කරනු ලබන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ ජිම්නාස්ටික් ක්‍රීඩාවේ නිරතව සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මවුපියන් පිරිසක් අමාත්‍යාංශයට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

එම පැමිණිල්ල ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලියාපදිංචි තැපෑලෙන් යොමු කර ඇති අතර, ජිම්නාස්ටික් පුහුණුකරුවකු ලෙසත් කටයුතු කරන අදාළ නිලධාරියා එක් දරුවකුගෙන් රුපියල් පන්දහස බැගින් අය කරමින් පවත්වාගෙන යන බව කියන ටොරින්ටන් ක්‍රීඩාංගණයේ පෞද්ගලික ජිම්නාස්ටික් සංගමයේ සහ ඔහුට සහාය ලබා දෙන බව කියන ජාතික ජිම්නාස්ටික් සංගමයේ අභ්‍යන්තර විගණනයක් සිදු කරන ලෙස ද එම පැමිණිල්ල මඟින් ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

පසුගියදා ටොරින්ටන් ක්‍රීඩාංගණයේ ජිම්නාස්ටික් ක්‍රීඩා මධ්‍යස්ථානයේ පවත්වනු ලැබූ ජාතික කනිෂ්ඨ ජිම්නාස්ටික් ශූරතාවලියේ මෙහෙයුම් කටයුතු සිදු කර ඇත්තේ ද එම සංගමය බවත්, තරගාවලියේ විනිශ්චය කටයුතු සිදු කළ ඔහුට පක්ෂපාතී විනිසුරුවරුන් කාන්තා ශූරතාව ඇතුළු ජයග්‍රහණ රැසක් එම සංගමයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අත්කර දීමට කටයුතු කිරීමෙන් සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශාල අසාධාරණයක් සිදුවූ බවත් එම පැමිණිල්ලේ සඳහන් වේ.

තරගාවලිය සඳහා රාජ්‍ය බැංකුවකින් නිල අනුග්‍රාහකත්වය ලබා දී තිබියදිත්, සිය සංගමයේ පුහුණුව ලබන දරුවන්ගේ මවුපියන්ගෙන් රුපියල් විසිපන්දහස බැගින් අනුග්‍රාහකත්ව මුදල් අයකරගෙන ඇති බවත් එම පැමිණිල්ලේ සඳහන් කර තිබේ. මීට අමතරව ජාතික කනිෂ්ඨ තරගාවලියට සහභාගි වූ 700කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ජිම්නාස්ටික් සංගමය විසින් අය කරනු ලැබූ මුදල් ද අදාළ පුහුණුකරුගේ සංගමයේ ගිණුමට බැර කරගත් බවට තොරතුරු ඇති බැවින් ඒ පිළිබඳ සොයා බලන ලෙසත් ජිම්නාස්ටික් ක්‍රීඩාවේ නිරතව සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මවුපියන් අමාත්‍යාංශයට යොමු කරනු ලැබූ ලිඛිත පැමිණිල්ලේ සඳහන් වේ.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT