“භජෙථ මිත්තෙ කල්‍යාණෙ – භජෙථ පුරිසුත්තමෙ” (කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු) යන්න තේමා කර ගනිමින් මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී පැවැත්වේ.
ඊට සමගාමීව මැයි මස 10 වැනි දින සිට 16 වැනි දින දක්වා වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කිරීමටත් කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
එම කාලසීමාව තුළ විවිධ බෞද්ධාගමික වැඩසටහන් සංවිධානය කර ක්‍රියාත්මක කිරීමටත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති, ආචාර්ය චන්දන අබයරත්න, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමැති, මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනවි මහත්වරුන් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ඇමැතිවරයා කීවේය.
නුවන් කොඩිකාර