GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් ධනාත්මක ලෙස සලකා බලන බව යුරෝපා සංගමයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි (Charles Whiteley) මහතා ප්‍රකාශ කළේය. ඔහු එසේ ප්‍රකාශ කළේ, මෙරට සංචාරයක නිරත යුරෝපා සංගමයේ නියෝජිතයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ජනාධිපති කාර්යාලයේදී ඊයේ (30) පැවති සාකච්ඡාවේදීය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බිඳවැටී තිබෙන අවස්ථාවල යුරෝපා සංගමය සිදු කළ උපකාර සම්බන්ධයෙන් ස්තුතිය පළ කරන බවය.
චාල්ස් වයිට්ලි මහතා මෙහිදී සඳහන් කළේ, යුරෝපා සංගමය හා ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තුළින් වාණිජමය ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට හැකි වූ බවත් ඉදිරියටත් වාණිජමය ජයග්‍රහණ අත්පත් කර ගැනීමට ශ්‍රී ලංකාවට සහාය දීමට සූදානම් බවත්ය.
යුරෝපා සංගමයේ GSP+ සහනය මඟින් ප්‍රමිතිගත හා ගුණාත්මක නිෂ්පාදන සැපයීම සඳහා ශ්‍රී ලංකාව තවදුරටත් දිරිගැන්වීමට අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.
යුරෝපා සංගමයේ GSP+ බදු සහනය දීමේදී සලකා බලන නිර්ණායක වත්මන් රජයේ ප්‍රතිපත්ති හා සමානුපාත වන බවත් චාල්ස් වයිට්ලි මහතා සඳහන් කළේය.
යුරෝපා සංගමයේ GSP+ සහනය ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට හිතකර තත්ත්වයක් ඇතිකිරීමටත් ආර්ථිකයෙහි දියුණුවක් ඇතිවීමටත් බලපෑ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
තවදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බිඳ වැටීමට, පැවති දේශපාලන ක්‍රමය සහ එවක පාලකයන්ගේ නාස්තිය හා දූෂණය හේතු වූ බවය. මෙරට යළි විධිමත් පාලනයක් සහිත රටක් බවට පරිවර්තනය කරමින් යන බවත් ඒ සඳහා යම් කාලයක් ගතවන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය. වත්මන් ආණ්ඩුව කෙරෙහි සමස්ත පුරවැසියාගේ බලපොරොත්තු රැඳී තිබෙන බවත් මීට පෙර ශ්‍රී ලංකාවේ ආණ්ඩු බිහිවූයේ දකුණේ සිංහල ඡන්ද මත පදනම්ව බවත් මෙවර උතුරේ දෙමළ ජනතාවත් නැඟෙනහිර මුස්ලිම් ජනතාවත් දකුණේ සිංහල ජනතාවත් වත්මන් ආණ්ඩුව නිර්මාණය කිරීමට දායක වූ බවත් සිහිපත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමේ වගකීම් නිවැරැදිව සිදු කරන බව ද මෙහිදී අවධාරණය කළේය.
කම්කරු ඇමැති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති, ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා යුරෝපා සංගමයේ තානාපති කාමන් මොරෙනෝ (Carmen Moreno), වෙළෙඳ හා ආර්ථික ආරක්ෂාව පිළිබඳ ජනරාල්, ප්‍රතිපත්ති නිලධාරි ගයිඩෝ ඩොලාරා (Guido Dolara), යුරෝපීය බාහිර ක්‍රියාකාරි සේවයෙහි ශ්‍රී ලංකා නිලධාරි ගලිජා අගිෂේවා (Galija Agisheva) මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
උපාලි කරුණාරත්න, ජයසිරි මුණසිංහ