ධනපති පන්තියේ ශ්‍රම සූරා කෑමට සහ අසාධාරණයට විරුද්ධව 1886 මැයි මස පළමුවැනි දින අමෙරිකාවේ චිකාගෝ නුවර සිදු වූ අරගලයකින් අනතුරුව මැයි පළමුවැනිදා ලෝක කම්කරු දිනය ලෙස ඉතිහාසගත විය. එතැන් සිට මේ වන තුරු ලොව පුරා වැඩ කරන පන්තියේ ජනතාව මැයි මස පළමුවැනිදා ලෝක කම්කරු දිනය උත්සවශ්‍රීයෙන් සමරති.
කාල් මාක්ස් සහ එංගල්ස් වර්ෂ 1848 දී ස්වකීය කොමියුනිස්ට් ප්‍රකාශනයේ සඳහන් කළේ “සකල දේශවාසී කම්කරුවනි එක්වව්” යනුවෙනි. ලොව පුරා පීඩිත පන්තියේ නිර්ධන ජනතාවට කාල් මාක්ස් ආමන්ත්‍රණය කළේ එලෙසිනි. කම්කරු පන්තිය සංවිධානය කිරීමකින් තොරව ජයග්‍රහණ අත්පත් කරගත නොහැකි බව එකී ආමන්ත්‍රණයේ විශ්වාසයයි. ඊට හේතුව: ජාතික ආර්ථිකයේ ජීවනාලිය කම්කරු පන්තිය බව මාක්ස්වාදීන් අවබෝධ කොට ගැනීමයි. කම්කරු පන්තියේ අයෝමය හස්තය ඕනෑම රුදුරු බලධාරි, මර්දනකාරි පාලන තන්ත්‍රයක් වුව ද පෙරළා දැමීමට සමත් වන බවට ඉතිහාසය සාක්ෂි දරයි.
කාලාන්තරයක් තිස්සේ අපට මතු වූ ගැටලුව වූයේ සෑම වර්ෂයකම කැලැන්ඩරයකට අනුව කම්කරුවා වෙනුවෙන් උද්ඝෝෂණ පෙළපාළි සහ රැලි පැවැත්වීම මඟින් පමණක් ඔවුන්ට සාධාරණයක් ඉටු වන්නේ ද? යන්නයි.
විවිධ වර්ණවල ධජ පතාක ඔසවාගෙන පෙළපාළි හෝ උද්ඝෝෂණ පැවැත්වූ පමණින් කම්කරුවාට සාධාරණය ඉටු නොවන බව යළි යළිත් සිහිපත් කළ යුතු ය. අතීතයේදී මරණය මතින් දිනා ගත් කම්කරු අයිතිවාසිකම් වර්තමානයේදී යටපත් කිරීමට හෝ පාගා දැමීමට කිසිවකුට අයිතියක් නැත. බලහත්කාරය හෝ ශ්‍රම සූරාකෑම වර්තමානයේදීත් සිදු වේ. ඒ නවීන පන්නයෙන් සිදු වන විට එයට අරගල කිරීමට වර්තමාන කම්කරු පන්තිය සංවිධාන විය යුතු ය. එහෙත් අප හමුවේ ඇති ප්‍රධානතම ගැටලුව වන්නේ ද එයයි.
ශ්‍රී ලාංකේය කම්කරු පන්තියේ ඉතිහාසය විමසා බැලූ කල ද කම්කරු අයිතීන් උදෙසා අරගල කළ, ජීවිත පූජාවෙන් සටන් කළ කම්කරු නායකයෝ බොහෝ වෙති. බලයට පත් විවිධ පාලකයන් විසින් විවිධ අවස්ථාවලදී කම්කරු පන්තියට ඍජු ලෙස බලපාන විවිධ නීති රීති සහ අණපනත් සම්මත කර ගත් බවට ඉතිහාසයේ සාක්ෂි පවතී. ඒවා පරාජය කිරීමට හෝ ආපස්සට හැරවීමට හැකිවූයේ කම්කරු පන්තියේ සංවිධානාත්මක අරගලවලින්ම පමණකි. එනිසා අතීත කම්කරු අරගල හෝ කම්කරු පන්තියේ ජනතාවගේ ජයග්‍රහණ යළි යළි සිහිපත් කිරීම මේ මොහොතේ සිදු කළ යුතු යැයි අපි අපේක්ෂා නොකරමු.
වර්තමානයේ අප හමුවේ ඇත්තේ වෙනස් සමාජ, දේශපාලනික පරිසරයකි. එකී සමාජ දේශපාලනික පරිසරය තුළ කම්කරුවා සංවිධානගත විය යුත්තේ කෙලෙස ද යන තීරණාත්මක ගැටලුව සඳහා නිශ්චිත පිළිතුරු සොයා ගැනීම කම්කරු පන්තියේ වගකීම වන්නේ ය.
කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන බවට පොරොන්දු වූ රජයක් මේ මොහොතේ බලයේ සිටී. එනිසා ඔවුන් කම්කරු පන්තියේ දියුණුව සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම උදෙසා කරන ක්‍රියාමාර්ග පිළිබඳ වඩාත් විමසිල්ලෙන් සිටිය යුතු ය. එනිසා වර්ජනය සහ උද්ඝෝෂණය යන ක්‍රියාමාර්ගවලට අමතරව දියුණු ප්‍රජාතන්ත්‍රීය ක්‍රියාමාර්ග, අයිතිවාසිකම් දිනා ගැනීම උදෙසා භාවිත කිරීමේ මොහොත එළඹ ඇතැයි අපි අපේක්ෂා කරමු. ඊට හේතුව මර්දනය වෙනුවට සාකච්ඡාව සුදුසු බව පිළිගන්නා පාලන තන්ත්‍රයක් බලය හෙබවීම ය. වර්තමානයේ ඒ පිළිබඳ සුබවාදී බලාපොරොත්තුව අනාගත යහපත් ශ්‍රී ලංකාවක් ගොඩනඟා ගැනීම සඳහා අතිශය තීරණාත්මක වනු ඇත.
දියුණු විද්‍යාත්මක සමාජවාදය ගොඩනැඟීමේ ක්‍රියාවලිය පක්ෂය, පන්තිය මෙන් ම කම්කරු ජනතාව ද සංවිධානය කළ යුතු බවත්, ඔවුන්ට අධ්‍යාපනික ඥානනය අතිශය වැදගත් බවත් කාල් මාක්ස් සඳහන් කොට තිබේ. සහෝදරත්වයේ විප්ලවීය ජීවගුණය කවර තත්ත්වයකදී වුව ද නොනැසී පවත්වා ගැනීමේ අත්‍යවශ්‍යතාව එමඟින් පෙන්වා දී තිබේ. දැනුම්වත්භාවය මඟින් ගොඩනැඟෙන සාමූහිකත්වය ජයග්‍රහණවලට පාර කපන බව එහි අදහසයි.
වර්තමානයේ සිටින්නේ තාක්ෂණික කම්කරුවෙකි. අතීතයේ සිටි දෑකැත්ත සහ මිටිය අතට ගත් සාම්ප්‍රදායික කම්කරුවා වෙනුවට නූතන තාක්ෂණික කම්කරුවා සහ ඔහුගේ අයිතිවාසිකම් පිළිබඳ මෙන් ම සංවර්ධන ක්‍රියාවලියේ ඔහුගේ දායකත්වය පිළිබඳ අලුතින් සිතා බැලිය යුතුව තිබේ. මේ නිසා පටු සාම්ප්‍රදායිකත්ව සීමාවේ හිරව සිටි ශ්‍රී ලංකාවේ බොහෝ පැරණි සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ අද දිනයේදී මැයි රැලියක් පවත්වා ගැනීමට නොහැකි තත්ත්වයට පත්ව ඇත. ඇතැමකු එය තමන්ගේ පක්ෂ කාර්යාලයේ රැස්වීමකට පමණක් මැයි දිනය සීමා කරන තත්ත්වයක් ගොඩනැඟී ඇත. මෙය අලුතින් සිතා බැලීමට යොමු කරවන කාරණයකි.
කාර්මික ධනවාදය, තාක්ෂණික කම්කරුවා, ඩිජිටල් ගෝලීය තාක්ෂණය හමුවේ කම්කරු අයිතිවාසිකම් යන්න ද අලුතින් අර්ථකථනය කළ යුතුව ඇත. එනිසා ප්‍රාසාංගික තත්ත්වයේ සිට ප්‍රායෝගික තත්ත්වය දක්වා මැයි දිනයේ ආකෘතිකමය වෙනසක් අපේක්‍ෂා කළ යුතුව තිබේ. එය මැයි දිනයේ වටිනාකම පිළිබඳ අවතක්සේරු කිරීමක් නොවේ. මැයි දිනය දේශපාලනීකරණය වී, ධනේශ්වරකරණය වී රාජ්‍යකරණය වී, අවසානයේ ජනප්‍රිය සංස්කෘතියේ ප්‍රාසාංගික තත්ත්වයට ද පත්ව තිබේ. ගෝලීය ධනවාදය තුළ නව ලිබරල්වාදී කම්කරුවා වෙනස් දෘෂ්ටිකෝණයකින් යුතුව හඳුනා ගැනීම අවශ්‍ය කාරණයකි. රටේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා ඔහු දායක කර ගත හැක්කේ එවිට ය.
වඩාත් යහපත්, සාධාරණ හා යුක්තිගරුක සමාජයක් නිර්මාණය කර ගැනීමේදී මෙකී ප්‍රතිවිරෝධතා සමනය කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් වනු ඇත. ඒ සඳහා වන සමාජ, දේශපාලනික අවබෝධය කම්කරු පන්තියට ලබාදීම අතිශය වැදගත් වේ.
ගෝලීය ධනේශ්වරය බිඳ වැටෙමින් තිබෙන මොහොතක, අර්බුදයකට පත්වෙමින් තිබෙන මොහොතක, මානව වර්ගයාගේ විමුක්තිය උදෙසා නව චින්තනයක් අවශ්‍ය ය. එහිදී කම්කරුවාගේ වටිනාකම සහ අයිතිවාසිකම වඩා ඉහළින් සටහන් වේ.
ශ්‍රම සූරාකෑමට ලක් නොවුණු, කම්කරු පන්ති අයිතිවාසිකම් සුරකින ජන සමාජයක් උදෙසා මෙවර මැයි දිනයේදී තීරණාත්මක පදනමක් වැටෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු. එය කම්කරු පන්තියට පමණක් නොව, සමස්ත මානව වර්ගයාටම සාධාරණයක් ඉටු කරනු ඇතැයි ද අපේක්ෂා කරමු.