අද ලෝක කම්කරු දිනයයි. මෙරට කම්කරු ප්‍රජාව සහ සමස්ත ශ්‍රමබළකායේ සියලු සුබසාධන සහ වගකිවයුතු කාර්යභාරයන් සඳහා දායකත්වය ලබා දෙන්නේ කම්කරු දෙපාර්තමේන්තුවයි. මෙරට ශ්‍රම බළකාය සඳහා සුවිශේෂ කාර්ය ප්‍රමාණයක් ඉටු කරනු ලබන මෙම දෙපාර්තමේන්තුව ඉටු කරනු ලබන කාර්යභාරය කුමක්ද? එමඟින් මෙරට ශ්‍රම බළකාය වෙත සැලසෙන සේවාව කෙසේද? යන්න පිළිබඳව කම්කරු කොමසාරිස් ජෙනරාල් නදීකා වටලියද්ද මහත්මිය සමඟ සිදුකළ සාකච්ඡාවකි මේ.
පෞද්ගලික අංශයේ අවම වැටුප වැඩි කරන පනත ළඟදීම
කම්කරු දෙපාර්තමේන්තුවත් ඩිජිටල් යුගයට
කම්කරු දෙපාර්තමේන්තුව මෙරට ශ්‍රම ප්‍රජාව සමඟ දීර්ඝකාලීන සබඳතාවක් පවත්වාගෙන යන රාජ්‍ය ආයතනයක් විදිහටයි හඳුනාගත හැක්කේ. මේ ආයතනය පිළිබඳවත් එහි කාර්ය වපසරිය පිළිබඳවත් මූලික හඳුන්වා දීමක් කළ හැකිද?
අපේ මූලික කාර්යය විදිහට හඳුන්වා දිය හැක්කේ වැඩ කරන ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරකිමින් ආර්ථික, සමාජීය සංවර්ධන වෙත දායක වීමය.”
කම්කරු අයිතීන් සුරැකීම” එම අයිතීන් රැකීම මෙන්ම කම්කරු සුරැකුම් නීති ගෙනඒම යනාදිය අතරින් කම්කරු දෙපාර්තමේන්තුව සිටින්නේ විශේෂ ස්ථානයකයි. මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා නම්?
මේ දෙපාර්තමේන්තුව ඉන්දියානු සංක්‍රමණික ශ්‍රමිකයන් වෙනුවෙන් ඇති කළ ආයතතනයක් ලෙසයි හඳුන්වා දෙන්නට පුළුවන්කම තිබෙන්නේ. එක්දහස් නවසිය හතළිහ දශකය වනවිට අපට හැකියාව ලැබෙනවා කම්කරු කාර්යාල පළාත් වශයෙන් ඇති කිරීමට. පරීක්ෂකවරු හත්දෙනකුගෙන් තමයි මේ දෙපාර්තමේන්තුව ආරම්භ කළේ. අද වනවිට තුන්දහසකට වැඩි සේවක පිරිසක් මෙරට ශ්‍රම බළකායේ දියුණුව වෙනුවෙන්, ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා. 1929 දී ඉතාමත් කුඩාවට ආරම්භ වුණු මේ ආයතනය විශාල ජාලයක් බවට පත්වීමට හේතුව බවට පත්වූයේ අපේ ආර්ථිකය විශාල ලෙස පුළුල් වීම තුළ සේවා අවශ්‍යතා ප්‍රමාණය ද විශාල වීමයි.ආර්ථිකය කියන කරුණ ඉදිරියට ගෙන යන්නේ ශ්‍රමය කියන කරුණ මූලික කරගෙනයි. සේවක සහ සේව්‍ය සමබරතාව ඇති කරමින් ඉදිරියට යාමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම තමයි අපේ මූලික අපේක්ෂාව බවට පත්ව තිබෙන්නේ. ආර්ථික කර්තව්‍යය සහ සේවක අයිතීන් යන දෙපැත්තම සමබර කරගෙනයි අප කටයුතු කළ යුතුව තිබෙන්නේ. අප ඒ අරමුණ ඇතිවයි කටයුතු කරන්නේ.”
ආර්ථිකය පුළුල් වීම තුළ ශ්‍රමිකයන් සහ කම්කරු ප්‍රජාව ආශ්‍රිත ගැටලුවල වෙනසක් සිදුව තිබෙනවා. ඒ පිළිබඳව කම්කරු දෙපාර්තමේන්තුව කුමන ආකාරයට ද කටයුතු කරන්නේ?
අපේ දෙපාර්තමේන්තු පද්ධතිය ආරම්භ කර තිබෙන්නේ සේවක – සේව්‍ය සබඳතා මතයි. සේවකයෝ වැඩ කරනවා, සේව්‍ය අංශය වැඩ ගන්නවා. ඒ තත්ත්වය තුළ තමයි කම්කරු නීති ඇතුළු සියලු දේවල් නිර්මාණය වෙන්නේ. ආර්ථිකය විශාල වීම තුළ අපට හඳුනා ගැනීමට අපහසුතාවක් ඇතිවෙනවා. වෙනස් රැකියා ස්වරූපයන් ඇතිවෙලා තිබෙනවා. සමහර රැකියා ඇතිවෙලා තිබෙනවා, කවුද හාම්පුතා , අයිතිකරු කියල හඳුනාගන්න බැරි. සමහර ආයතන ඔන් ලයින් ක්‍රම ඔස්සේ ක්‍රියාත්මක වෙන ආයතන විදිහටයි හඳුනා ගැනීමට ලැබෙන්නේ. ටැක්සි සේවා, ආහාර බෙදා හැරීම් වැනි සේවාවලදී මේ තත්ත්වය උද්ගතව තිබෙනවා. ඩිජිටල්කරණය තුළ මේ වෙනස්කම් සිදුවෙනවා. නිවෙසේ සිට වැඩ කිරීම යන තවත් ක්‍රමයක් ඇවිත් තිබෙනවා. මේ තත්ත්වය තුළ සේවා වෙනස්කම් රැසක් ඇතිවෙලා තිබෙනවා. එයට අදාළව නීතිවල වෙනස්කම් විය යුතුයි. අප මේ වගේ නව තත්ත්වයන් පිළිබඳව ඉක්මන් උත්තර සොයා ගත යුතුයි. සාමාන්‍ය නීතිය අනුව වැටුප් ලේඛන පවත්වාගෙන යායුතුයි. ඒත් නිවෙසේ සිට රාජකාරී කරද්දි වැටුප් ලේඛන පවත්වාගෙන යාමක් සිදුවන්නේ නැහැ. මෙවැනි ගැටලු පිළිබඳව නිසි අවධානයක් යොමු කර කටයුතු කළ යුතුයි.”
කම්කරු දෙපාර්තමේන්තුව කොළඹ මූලික ආයතනයක් නොවී දිවයින පුරා විසිරී ගිය ජාලයක් සහිත ආයතනයක් බවට පත්ව තිබෙනවා ද?
ඔව්, අප ආයතනයක් විදිහට ලොකු ජාලයක් ගොඩනඟාගෙන තිබෙනවා. සේවක ප්‍රමාණය ,ආයතන ප්‍රමාණය අනුව අපේ ප්‍රාදේශීය ආයතන ජාලයක් ඇති කර තිබෙනවා.”
නව රජය බලයට පත්ව මාස කිහිපයක් තුළ වැඩකරන ජනතාව කෙරෙහි වූ ධනාත්මක කාර්යhka රාශියක් සිදුකර තිබෙනවා. ඒ අතර පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් විසිහත්දහස දක්වා වැඩි කිරීමට යෝජනා වී තිබෙනවා, මෙම වැටුප් වැඩි කිරීම පිළිබඳව තත්ත්වය කුමක්ද?
“පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් දාහත්දහසේ සිට විසිහත් දහස දක්වා වැඩි කිරීමට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. මෙය අප්‍රේල් මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. ලබන අවුරුද්ද වන විට පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් තිස්දහස දක්වා වැඩි කිරීමට යෝජනා වී තිබෙනවා. අවම දෛනික වැටුප රුපියල් 1080 දක්වා වැඩි වෙනවා.මෙය පනතක් විදිහට සම්මත වූ පසු අනිවාර්යයෙන්ම පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීම ලබා දිය යුතුයි.ආයතනවලට අවම වැටුප් වැඩි කිරීම අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබෙනවා. ඒත් තවම මෙය නීතියක් බවට පත්වෙලා නැහැ. පනතක් විදිහට සම්මත වූ පසුවයි මෙය නීතියක් බවට පත්වන්නේ. එහිදී මෙම නීතිය නොතකා කටයුතු කළොත් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට හැකියාව තිබෙනවා. මේ පනතේ කටයුතු සහ නීතිමය තත්ත්වය පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව අවශ්‍ය කටයුතු කරගෙන යනවා. දැනට පනත ගෙනඒමට අවශ්‍ය කරනු ලබන කරුණු සහ ප්‍රතිපාදන බොහෝ සෙයින් සපිරී තිබෙනවා. මෙම පනත පාර්ලිමේන්තුවට ගෙනඒමට යම් කාලපරාසයක් තිබෙනවා. ඒ කාලපරාසයෙන් පසු මෙම කටයුත්ත සපුරාලීමට හැකියි.”
පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් විසිහත්දහස දක්වා වැඩි කිරීම තුළ සෙසු සේවකයන්ගේ වැටුප් ද වැඩි කළ යුතු බවට නීතිමය තත්ත්වයක් ඇති වන්නේ නැද්ද?
“නීතිය විදිහට අපට ගෙනෙන්න පුළුවන් අවම වැටුප ඉහළ දැමීම පමණයි. රජය පනත සම්මත කරගත් පසු එය නීතියක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒත් ආයතනයේ විසිහත්දහසට වඩා වැටුප ලබා ගන්නා අයගේ වැටුප් වැඩි කළ යුතුයැයි නීතියක් ගෙනෙන්න බැහැ. නීතියට පුළුවන් අවම දේ ඉහළ දැමීම පමණයි. මෙහිදී එම ආයතනවල සේවක වැටුප් විෂමතාවක් ඇතිවීමට ඉඩක් තිබෙන නිසා සෙසු සේවකයන්ගේ ද වැටුප් ප්‍රමාණ සැලකිය යුතු ප්‍රමාණවලින් ඉහළ දැමීමට අවධානය යොමු කළ හැකියි. ඒ වගේම ආයතනවල කළමනාකාරීත්ව සහ මානව සම්පත් කළමනාකරණ අංශවලට ඒ පිළිබඳව අවධානය යොමු කර කටයුතු කිරීමට පුළුවන්. අපට එය නීතියක් විදිහට ගෙන එන්න බැහැ. අවම වැටුප වැඩි වෙද්දි සෙසු සේවක වැටුප් ද වැඩි විය යුතුයි. ආයතනවල ලාභ අලාභ පිළිබඳ සලකා බලා අවශ්‍ය වැඩි කිරීම් සිදු කිරීම තමයි කළයුතුව තිබෙන්නේ. එසේ වැඩි කිරීමක් කළ හැකිනම් එසේ වැඩි කිරීම පිළිබඳව අපේ විරුද්ධත්වයක් නැහැ.”
පෞද්ගලික අංශයේ වැටුප්, සෙසු අයිතීන් සහ සේවකයන්ගේ වගකීම් පිළිබඳව අවබෝධය යොමුවන ප්‍රධාන ක්‍රමයක් වන්නේ සාමූහික ගිවිසුම් ඇතිකර ගැනීමේ ක්‍රමයයි. මේ ක්‍රමය මඟින් සමස්ත වැටුප් වැඩි කර ගැනීමේ ක්‍රමයකට යාමට හැකියාවක් තිබෙනවා නේද?
“සාමූහික ගිවිසුම් කියන්නේ ඉතාමත් හොඳ සහ දියුණු ක්‍රමවේදයක්. මේ ගිවිසුම් ක්‍රමවේදය ඇතිකර ගැනීමට දිරිමත් කිරීම් සිදු කරනු ලබනවා. සේවකයන් විශාල ප්‍රමාණයක් සිටින ආයතනවල සේවක – සේව්‍ය යහපත වෙනුවෙන් ක්‍රියාත්මක කළ හැකි හොඳ යන්ත්‍රණයක් විදිහට සාමූහික ගිවිසුම් ක්‍රමය හඳුන්වා දෙන්න පුළුවන් සාමූහික ගිවිසුම් කියන්නේ ආයතනයේ සේවක මණ්ඩලය සහ කළමනාකාරීත්වය අතර සාකච්ඡා කර ඇතිකර ගනු ලබන එකඟතා ක්‍රමවේදයක්. එහි එකඟතා අතරට සේවක අයිතීන් වගේම සේවකයන්ගෙන් ආයතනයට හිමිවිය යුතු යුතුකම් වගකීම් පිළිබඳවද ගිවිසුම් ගත වීමට හැකියාව ලැබෙනවා. උසස් වීම්, දිරි දීමනා පිළිබඳව ද අවධානය යොමු කරන්න වගේම ගිවිසුම්ගත වීමටද හැකියාව තිබෙනවා. මේ ක්‍රියාවලියට අප දෙපාර්තමේන්තුව උදව්කරනු ලබනවා. මෙම ගිවිසුම්වල කොන්දේසි කඩවුවහොත් නඩු පැවරීමට පවා දෙපාර්ශ්වයටම අයිතිය තිබෙනවා. අප මේ ගිවිසුම් ගැසට් කරනු ලබනවා. එමඟින් මෙම ගිවිසුමට විශාල නීතිමය තත්ත්වයක් ලැබෙනවා. සාමූහික ගිවිසුම් මඟින් ඉහළ වැටුප් තලවලට යෑම වගේම ලාභාංශ බෙදීම වගේ කටයුතුවලට එක්වීමට පුළුවන්කම තිබෙනවා. ඇත්තෙන්ම සාමූහික ගිවිසුම් කියන්නෙ ඉතාමත් හොඳ සහ දියුණු ක්‍රමවේදයක් විදිහට හඳුන්වන්න පුළුවන්. දැනට රට පුරා ආයතන දෙසීය විසිපහක පමණ සාමූහික ගිවිසුම් ක්‍රමය ක්‍රියාත්මක වෙනවා.”
සේවක අර්ථසාධකය සේවක අයිතියක් වුවද ඇතැම් ආයතන මඟින් මෙම අර්ථ සාධක දායකත්වය ලබා නොදෙන බවට වාර්තා වෙනවා. මෙවැනි දේ පිළිබඳ නීතිමය පියවර ගැනීමට හැකියාව තිබෙනවා නේද?
“අනිවාර්යයෙන්ම එසේ නොකරන ආයතන පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරනු ලබනවා. ඇතැම් හාම්පුතුන්ට ඇත්තටම මේ ගැන අවධානයක් නැහැ. තවත් පිරිසක් ඉන්නවා නොදැනුම්වත්කම වැනි කරුණුත් තිබෙනවා. ඒ නිසා අප අවවාදාත්මක ලිපි තුන්වරක් යොමු කර ඉන්පසුව නීතිමය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වෙනවා.”
නවීන තාක්ෂණය සහ ඩිජිටල්කරණය, කම්කරු දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ඉටු කර ගැනීමට යොදා ගෙන තිබෙනවාද?
“දැන් අපත් අලුත් විදිහට සිතා වැඩ කළ යුතුයි. ඒ අනුව ඩිජිටල් ක්‍රමවේදයන් අපත් කෙමෙන් හඳුන්වා දෙමින් සිටිනවා. සේවක සහ සේව්‍ය පෝරම දෙපාර්තමේන්තුවට නොපැමිණම මාර්ගගතව ලියාපදිංචි වීමට හැකියාව තිබෙනවා.”
ලෝක කම්කරු දිනය වෙනුවෙන් මෙරට කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා විදිහට ඔබ ලබා දෙන පණිවුඩය කුමක්ද?
“ඇත්තෙන්ම මම පෞද්ගලිකව කම්කරු කියන වචනයට කැමැති නැහැ. මමත් , ඔබත් සෙසු අයත් එක් එක් අංශවල සේවය සඳහා ශ්‍රමය වැයකරන පිරිස්. අපගේ වගකීම් වෙනස් වුවත් ශ්‍රමය කියන කාරණයේදී අප සැම දෙනා සමානයි. අපි ශ්‍රමය පිළිබඳව වැඩ කරන දෙපාර්තමේන්තුවක් විදිහට ශ්‍රමිකයන් වෙනුවෙන් වෙන්වුණු මේ දිනයේ අර්ථය හොඳින් තේරුම් ගෙන වැඩ කළ යුතු කරමින් සිටිනවා. කම්කරු අයිතීන් වෙනුවෙන් එදා සිට අද දක්වා කැපවුණු, දිවි පුදා කළ විවිධ සේවාවන් කම්කරු අයිතීන් තහවුරු කිරීමට කටයුතු කළ සියලු දෙනා මේ මොහොතේදී සිහිපත් කළ යුතුයි.”
උදිත ගුණවර්ධන
ඡායාරූපය
දුෂ්මන්ත මායාදුන්න