ජයන්ත සිය සංකල්ප රැගෙන සහෘද සමාජය වෙත නැඹුරු වී ඔවුන්ගේ හදවතට තට්ටු කරන අපූරු කවියෙකි. ඔහුට කියන්නට යම් වැදගත් දෙයක් තිබේ. ලාභ – ප්‍රයෝජන, පැසසුම් කිසිත් නැතිවුව ඔහු තම කාර්යය ඉටු කරයි. කවියා හුදෙකලාවකට තල්ලුකර දමා ඇත්තේ වුව ඔහුගේ පරිකල්පනා හුදෙකලා නැති බව පෙනී යයි.
නූතන ලෝක කවිය ගැන විමසන කෙනකුට මෙන්ම එහි ප්රවණතා සොයන කෙනකුට ද ඇෆ්රිකන් කවිය අත්හළ නොහැකිය. කළු අප්‍රිකානු සාහිත්‍යයේ රැඩිකල්භාවය සේ ම උත්ප්රාසය බොහෝ විචාරකයන්ගේ අවධානයට ලක් වී ඇති බව පෙනෙයි. මේ අතර ඇෆ්රිකන් කවීන්ගේ විශේෂතා තුනක් හැමවිටම ඉස්මතු වන බවද පෙනෙයි.
(I) සමාජ සාධාරණත්වය, සමානාත්මතාව හා සහජීවනය උදෙසා කවීන් නඟන ප්‍රබල හඬ
(II) සමාජ පරිවර්තනය විශේෂයෙන් තාක්ෂණික භාවිත නිසා පාරම්පරික මිනිසා අත්පත් කරගෙන ඇති වේදනාව – පාඩුව හා පසුතැවීම කවීන් දකින ආකාරය.
(III) දිළිඳුකම ගැන අතිශය සංවේදීවීම, පෞරාණික උරුමය ගැන සාඩම්බර වීම හා යටත්විජිතවාදී සූරාකෑමට දැඩි ලෙස වෛර කිරීම
මේ සාධක තුන ම අතිශය දේශපාලනික දෘෂ්ටීන් සමඟ බැඳී පවතින බව බැලූ බැල්මට ම පෙනෙයි. එය සත්‍යයකි. කවියට දේශපාලනයෙන් හුදෙකලාවන්නට පුළුවන්කමක් නැත. කවියේ විචාරයට ද එසේමය. කවියේ දේශපාලනයක් ඇතැ’යි යන්න තර්කයෙන් තොරව පිළිගත යුතු සත්‍යයකි. එහෙත් එහි ඇති දේශපාලනය මතුපිටට එන පාට සරුංගලයක් නොවේ. ඒ දේශපාලනය ගැඹුරුය. එය මිනිසාගේ ආධ්‍යාත්මයෙන් පැන නඟින සංකල්ප හා යථාර්ථවාදී ලෝකය අතර පවත්නා පාලමක් යැයි හඳුන්වාදීමට පුළුවන.
අපටද එබඳු කවි පරපුරක් සිටිති. ඒ බව පෙනෙන්නට පටන් ගත්තේ විස්ස සියවසේ මුලපටන් යැයි කිව හැකිය. විසිවන සියවසේ මැදහරියේ පටන් මේ කවි පරපුර වඩාත් ශක්තිමත් වූ අතර ඔවුන් කිසිදු ලාභ – ප්‍රයෝජනයකින් තොරව තම කාර්යයෙහි නිමග්න වූ බවක් අපට පෙනී යයි. අද අපේ විමසුමට ලක් වන්නේ එබඳු පරම්පරාවකින් පැවත එන කවියකුගේ නිර්මාණ සංග්‍රහයකි. කාව්‍ය සංග්‍රහය “මාතලී තාත්තා’ ලෙස නම් කර ඇත. කවියා ජයන්ත ග.ජෝතියරත්න නම් වේ.
සමාජ සාධාරණත්වය, යුක්තිය, සමානාත්මතාව හා සහජීවනය උදෙසා සටන් වැදීම අප්‍රිකාවේ, ලතින් අමෙරිකාවේ හා ආසියාවේ ද පොදු ලක්ෂණයක් බවට පත්ව තිබේ. 19 සියවසේ මුල පටන්ම මේ කලාපවල දිළිඳු ජනතාව ඒ සඳහා පෙරමුණ ගත්හ. අප්‍රිකානු සමාජය ඒ අතරින් ප්රමුඛ වෙයි. ඔවුහු ආකාර දෙකකින් සූරාකෑමට හා පීඩාවට ලක්වූහ. එකක් දුප්පත්කම නිසාය. අනෙක නූගත්කම නිසාය. 15 වැනි සියවසේ පටන් ව්‍යාප්ත වූ යටත්විජිතවාදය අප්‍රිකානු, ආසියානු හා ලතින් අමෙරිකානු රටවල සම්පත් කොල්ලකෑහ. ඉන් නොනැවතී එම සම්පත්වල හිමිකරුවන් වූ කලාපීය දිළිඳු ජනයා ඔවුන්ගේ බැල මෙහෙවර සඳහා යොදා ගත්හ. අද නැවතත් එම සූරාකෑමේ ප්රයත්නය අලුත්ම මුහුණුවරකින් ක්‍රියාත්මක වෙයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව තීරුබදු ප්‍රතිපත්තිය ඊට කදිම නිදසුනකි.
15 වැනි සියවසේදී යුරෝපීය ජාතීන් සිදු කළ සූරාකෑම ගැන මෑතකදී චීන නායකයා දීර්ඝ කතාවක් කර තිබේ. එම කතාව විශ්ලේෂණය කරන විට පැහැදිලි වන්නේ අමෙරිකාව, යුරෝපා සංගමය, එංගලන්තය, ඊශ්‍රායලය, නේටෝ සංවිධානය පමණක් නොව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා දුප්පත් රටවලට අහිතකර ලෙස රාජ්‍යතාන්ත්‍රිකභාවය පාවිච්චි කරන බවය. මීට එරෙහිව කලාපීය වශයෙන් සංවිධාන ශක්තිමත් කළ යුතු බව ෂී-ජින් – පින් ජනාධිපතිවරයා කියා සිටියි. මැලේසියා අගමැති අන්වර් ඊබ්‍රාහිම් මහතා ද එය අනුමත කරයි.
අද වන විට අරාබි ලීගය පවා චීනය සමඟ එකපෙළට හිටගැනීමට එකඟතාව පළ කර සිටී. අප්‍රිකානු කවීහු මීට කලින් තත්ත්වය වටහාගත්හ. ඒ සඳහා හඬ නැඟූහ.
කළු අප්‍රිකානු සාහිත්‍යයේ මහා කතාකරු හැටියට සලකන චිනුවා අචෙබේගේ පළමු නවකතාව වන “තින්ග්ස් පෝල් එපාර්ට්’ කතාවේ එක් අවස්ථා නිරූපණයකින් දැක්වෙන්නේ සුද්දා පැමිණි බයිසිකලයකට යකඩ අශ්වයා යැයි බැණවදින ප්‍රධාන චරිතයක් ඊට නොනවත්වාම පහර දෙන බවයි. මේ කෙටි නවකතාව ලියැවෙන්නේ මීට දසක ගණනාවකට පෙරය. මහාචාර්ය චිනුවා අචෙබේ අද ජීවතුන් අතර නැත. ඔහු නයිජීරියාවේ දේශපාලකයන් දැඩි ලෙස විවේචනය කළේය. චිනුවා අචෙබේට අනුව අධිරාජ්‍යවාදීන්ගේ ඒජන්තයන් සිටිනතාක්; එනම්; රටවල් පාලනය කරන තාක් ඒ රටවලට නිදහස හා සමෘද්ධිය ළඟා වන්නේ නැත. මේ සත්‍යය අපේ සාහිත්‍යකරුවෝ ද මුල සිටම පෙන්වා දුන්හ.
ජයන්තගේ දැක්ම ගතහොත් ඔහු හැමවිටම යුක්තියක් ඉල්ලා සිටින බව පෙනෙයි. ‘මාතලී තාත්තා’, ‘නූතන සකුන්තලා’, ‘නූතන ජනකවිය’, ‘කොන්+දොස්තර’, ‘පර්චස් දහයේ විලාපය’ යන කවි පන්ති ඊට නිදසුන් ලෙස දැක්විය හැකිය.
මාතලී දිව්‍ය පුත්‍රයෙකි. ඒ සක් දෙවිඳුගේ රථාචාර්යයා යැයි කියති. ජයන්ත ලංගමයේ වැඩකරන රියැදුරු තාත්තා හඳුන්වන්නේ ද මාතලී කෙනකු හැටියටය. ඔව්! එය ඇත්තකි. එක්තරා කාලයෙක ලංගම රියැදුරකුගේ සමාජ වටිනාකම ඉහළ මට්ටමක පැවතිණි. ඔහුට නිශ්චිත වැටුපක් තිබිණි. දිරි දීමනා තිබිණි. ‘බෝනස් තිබිණි. තවත් පහසුකම් තිබිණි. කොටින්ම ලංගම සේවකයකුගේ ජීවිතය සුරක්ෂිත විය. එහෙත් 1977 පෞද්ගලික බස් සේවාව යළි ස්ථාපනය වීමත් සමඟ සියල්ල වෙනස් විය. පෞද්ගලික අංශයට ඒකාධිකාරය හිමිවිය. ලංගමය පඩි ගෙවාගත නොහැකි තත්ත්වයට ඇදවැටිණි. එදා පාලකයන් පෙන්වා දුන්නේ තරගකාරි සේවා සැපයීමක් ඔස්සේ මහජනයාට සහන සලසන ආර්ථිකයක් ඇති කරන බවය. එහෙත් එය ඉටුවූයේ නැත. සියල්ල අවිධිමත් විය. ආර්ථිකය කොල්ලකාරි විය. ස්වල්ප දෙනකු පොහොසතුන් වූ අතර පොදු ජනයා කබලෙන් ළිපට ඇද වැටුණාහ. ජීවත්වීම අමාරු විය. උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ ගියේය. ලංගම සේවකයන්ගේ පවුල් ජීවිතය අමාරු විය.
“කරකවලා සුක්කානම දවසේම
අරගෙන ගෙදර අඩුවැඩිය මහන්සියේ
මල්ලක තිබුණේ සිලි සිලියේ
ආදරයයි කරුණාවයි පිරී ඉතිරී”
ජයන්ත මේ පද්‍යයෙන් සාධක තුනක් ඉස්මතු කරයි
(I)පීතෘ ස්නේහය
(II)දුප්පත්කමේ වේදනාව
(III)දේශපාලන – ආර්ථික අවුල
මේ පද්‍යයට යටින් කතාවක් තිබේ. ඒ කතාව ඉදිරිපත් කරන්නේ කථකයා ය. නැතහොත් මාතලී නම් රියැදුරාගේ පුත්‍රයාය. ඒ පුත්‍රයාගේ අනාගත සිහින තාත්තාගේ කැපවීම. තාත්තා කහට කෝප්පයකින් සැනසී ඇඳ මත සිට දකින සිහින එම කතාවට ඇතුළත්ය. එය සහෘදයාගේ පරිකල්පන ලෝකය හා බැඳෙයි. පාඨකයාගේ පරිකල්පනය අවදි කරන හා ඔහුගේ කතාවට ඉඩ දෙන මෙවන් පද්‍ය ‘නැරේටිව් පොයම්ස්’ හෙවත් වෘත්තාන්ත කාව්‍ය ලෙස ද, හැඳින්විය හැකිය. (The grandest of naratives is the epie) තියඩෝර් රොත්රික් නම් කවියාගේ ‘මයි පපාස් වෝල්ට්ස්’ (my apa’s Waltze) කවිය අප සිහියට නැඟේ. එය රචනා වන්නේ 1960 ගණන්වල ය. එම කවියේද කතාන්දරයක් තිබේ. එම කවියේද තාත්තාට ආදරය කරන පුතෙක් සිටී. වෙනසකට ඇත්තේ තියඩෝර්ගේ කතානායකයා ‘විස්කි’ තොලගාමින් නටන අතර ජයන්තගේ තාත්තා කහට බී ඇඳමත හාන්සි වී සිහින දැකීමය.
ජයන්තගේ කාව්‍ය නිර්මාණ සමුච්චය දෙස බලනවිට මූලික ශානර දෙකක පද්‍යයන් දකින්නට ලැබේ. එකක් නම් සංක්ෂිප්ත සංකල්පනාවන්ය. අනෙක නම්; සමාජ යථාර්ථය හා සංවේදනා කැටි වූ වෘත්තාන්ත කාව්‍ය නිර්මාණයන්ය. ජයන්තගේ පොතෙහි වැඩි ඉඩකඩක් වෙන් කර ඇත්තේ අතිශය සංක්ෂිප්ත සංකල්පනාවලටය. සංක්ෂිප්තතාව කවියක සාධනීය ලක්ෂණයක් වුව; එය නිසි ලෙස සංවිධාන කර ගත යුත්තේ කාව්‍යාර්ථ සමඟය. බොහෝ නිර්මාණවල එවැන්නක් දකින්නට නැත. හෙඩිමක් නැතිව සංක්ෂිප්තව සංකල්ප ඉදිරිපත් කිරීමෙන් පමණක් සාර්ථක කාව්‍ය නිර්මාණයක් බිහි වන්නේ නැත. පහත සංකල්පනාව ඊට කදිම නිදසුනකි.
“කං කං බූරූ
සිං සිං නෝරූ
මේ ළමයින් කොහේදෝ
ෆෝන් එකට වහ වැටීදෝ”
(පිටුව – 38)
විසිවන කවිය ලෙස එය දැක්වේ. තරුණ පරම්පරාව ජංගම දුරකතනය සිය ජීවිතය කරගෙන එහි ම ඇලී-ගැලී සිටීම අමුත්තක් නොවේ. එය එලෙසම හුවා දැක්වීම කවියක් වන්නේ කෙසේ ද? එක්කෝ මෙය සිද්ධියක් සමඟ ගළපා කිසියම් හැඟීමක් ඇති කිරීමට කවියාට ඉඩ තිබිණි. ජයන්ත එවැන්නක් වෙත නැඹුරු වන්නේ නැත. කවියා රැල්ලේ යමින් අදහස් වමාරයි. මෙබඳු අමුකවි ගණනාවක් පොතට ඇතුළත්ය.
ජයන්ත වඩාත් සාර්ථක වන්නේ ඔහුගේ වෘත්තාන්ත කවි තුළය. කොන්+දොස්තර එබඳු නිර්මාණයකි. වෘත්තාන්ත කවියකි. එම කවියට විෂයය වන්නේ බස් රථයක සහායකයෙකි. කොන්දොස්තර ළමයෙකි. ඔහු ජීව විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලැබ ලකුණු කිහිපයක් අඩු වීමෙන් විශ්වවිද්‍යාල වරම් අහිමි වූ තරුණයෙකි. මේ තරුණයාගේ ජීවිතය ගැට ගැසෙන්නේ බස් රථයක සහායකයා වීමෙන්ය. ඔහු ‘ඔටුව – පිටඔටුව’ කියමින් බසයට සෙනඟ සොයයි. ජීවිතය එහෙම ගෙවී යයි
‘දොස්තර වන්නට බැරිව
කොන්+දොස්තර වුණ
කෙසඟ ඉළන්දාරී
ඔටුව -පිටඔටුව ළඟ
සුසුම් වැගිරෙනා
මැනිං මාර්කැට්ටුව
හීනෙන් දත්මිටිකන’
(පිටුව – 14)
එය දෙවැනි කවිය ලෙස සඳහන්ය. රටේ ජාතික අධ්‍යාපනයේ ඇති අර්බුදය, තරුණ පරම්පරාවේ ඛේදවාචකය ජයන්ත හරි අපූරුවට චිත්රණය කරන්නේ උත්ප්රාසයක් ද මතුකරමින් ය.
රන්ජන් අමරරත්න