Home » බලු පැටියා

බලු පැටියා

by sachintha
May 1, 2025 1:22 am 0 comment

නයන්ති මට කොහොම දොස් කිව්වත් මම එයාගෙ අම්මා තරම් නපුරු නැහැ. ජිනසෝමගේ සිතට තව තවත් සිතුවිලි ගලන්නට විය.

මාසෙ පෝයටත් සිල් ගත්ත නයන්තිලගෙ අම්ම

කැරපොත්තෙක් මකුණෙක් දැක්ක ගමන් තළල පොඩි කරල දානව. කරපිංච ගහේ නඟින ගොළුබෙල්ලෙක් දැකල තාර පාරෙ ගහල පොඩි කළා.

කාර්යාල සේවක සේවිකාවන් උදයට සහ සවසට දුම්රිය නැවතුම්පොළ දෙසටත්, ස්වකීය ආයතනවලටත් යන එන අයුරු පිටතින් බලා සිටින්නෙකු, ස්ථිර වශයෙන්ම පවසනුයේ, ඔවුන් අලසකම යනු හාංකවිසියක්වත් නොදන්නා පිරිසක් බවය.

හැඩයක් නොමැති සිතුවිලි සමුදායන්වලින් පිම්බුන ජීවිතවලින් එදින ද, කොම්පඤ්ඤවීදිය දුම්රිය නැවතුම්පළ පිරී ඉතිරී තිබිණි. දුම්රියක් අවලංගු කිරීමත් මාර්ග බාධකවලින් සිදුවිය හැකි ප්‍රමාද මගහරවා ගැනීමටත් කොටුව දුම්රියපොළ මගහරින පිරිසක් එකතුවී ඇතැයි ද, රැස් කකා සිටි සෙනඟ අතර, ඇතැමෙකුගේ අදහස විය. මිනිත්තු දෙකක ප්‍රමාදයක් නිසා ජිනසෝමට ද, එදින කොටුව දුම්රියපොළ මගහැරීමට සිදු විය.

හයිලෙවල් පාරෙන් දුම්රියපොළ දෙසට යාමට එහෙන් මෙහෙන් පාර පනින කාර්යාල සේවක සේවිකාවන් ද, යම් යම් දේ අතින් ඩැහැගෙන දිවයන්නේ ශීඝ්‍රගාමී දුම්රිය අපේක්ෂාවෙනි. හනි හනික පැමිණි ජිනසෝම ද දුම්රියපොළ වේදිකාවට ගොඩවූයේ රේල් පාරෙන්මය. වේදිකාවේ ඉදිරියට පසුපසින් රිංගා ඒමට බැරි තරම් සෙනඟක් පොදිකමින් සිටි අතර, ජිනසෝමගේ දෑස් දිවගියේ සිග්නල් ලයිට් දෙසටය. ලයිට් නිවී තිබිණි.

සිග්නල් කට්ටිය ස්ට්‍රයික් කරලලු. කෙනෙකු පවසත්ම, තවත් කෙනෙකු සඳහන් කළේ, උදේ වරුවෙම කෝච්චි දිව්වනේ යනුවෙනි.

“එහෙම තමයි, අද තුන හමාරටනේ පටන් අරන් තියෙන්නෙ.” ඊට පිළිතුරු අනෙකාගේ මුවින් පිටවිය. වේදිකාවේ විවිධ කථා බහ සාමාන්‍ය දුම්රිය ප්‍රමාදයකදී වුව ද, විවිධ මං ඔස්සේ ඇදීයාම සිරිතකි.

සේවකයින් වෘත්තීය අයිතිවාසිකම් දිනාගන්ඩ වර්ජන කරනව, ජනතාව මහ මග දුක් විඳිනවා. අද සිග්නල් කට්ටිය, තව ඉස්සරහට ගාඩ්ලා. ලාම්පු කාරයො, ස්ථානාධිපතිවරු, අනියම් සේවකයින්, ටැබ්ලට්කාරයො, මාර්ග නඩත්තු කරන්නෝ, ඔහොම බලනකොට අවුරුද්දකට දවස් කීයක් ද, ඇතැමෙකු ඉහ වහ ගිය කෝපය යටපත් කරගෙන කතා කරති. සිග්නල් ලයිට්වලින් ඉවත ගිය ජිනසෝමගේ දෙනෙත් නතරවූයේ, වේදිකාව කෙළවරට තරමක් දුරින් සිට ඉදිරියට ඇදෙන බලු පැටියෙකු ළඟය. ඉන් ඔහුගේ මතකය පෙර දින රාත්‍රී, බිරිඳ හා දරුවන් සමඟ ඇතිවූ සංවාදය යළි මතු කරන්නට විය.

බලු පැටියෙකු ගැන නි‍ෙවසේ විවිධ තර්ක ඇති වූයේ අද ඊයේ නොවේ, ජිනසෝමගේ අප්‍රසන්න මාතෘකාව වී තිබුණේ, බල්ලන් පූසන් හා සුරතල් මසුන් පිළිබඳවය. ඔහු, ඔවුන් නිවෙස්වල ඇති දැඩි කරනවාට තදින් විරුද්ධ විය. අල්ලපු ගෙදර ඇති කරන සතුන් ගැන නයන්තිත් දරු දෙදෙනාත් දැක්වූ ඇල්ම උනන්දුව ගැන ජිනසෝම පිළිකුල් කළේය. ඔවුන් ද අවස්ථාව ලද පමණින් නිදන ඇඳන් මත පවා වැතිර සෙල්ලම් කරයි. දිනක් ඉවසුම් නොමැතිව, බලු හොම්බ දොරට හසු කළ ජිනසෝම වහා නිදහස් කළේ හද පුරා ඇති වූ ශෝකයකිනි. දුම්රිය මග දෙපස වේදිකාවන්හි පිරී සිටි සෙනඟ අතුරින් ඉදිරිපසින් සිටියවුනට බලු පැටියා හොඳින් දර්ශනය විය. ඔවුන්ගේ ඇස් මහත් වී තිබිණි. කැහැටු බලු පැටියෙකු රේල් පාර දිගේ හෙමින් හෙමින් එන දසුන දුටු එක් වයෝවෘද කාන්තාවකගේ මුවින් පිටවූයේ, “කෑමට යමක් විසි කළානං ඔය කුක්කා රේල් පාරෙන් අහකට ගන්ඩ තිබුණා” කියාය.

ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරක් තිබිය හැකි වුවත්, එය විද්‍යාත්මක විය යුතු යැයි හැඟුනාමෙන් එකෙකු පැවසුවේ, අඩි කීයක් උස ද මේ ප්ලැට්ෆෝම් එක, ඌ දිගටම යන්න යයි. ජිනසෝමගේ සිත නලියන්නට විය. සිග්නල් නැති දුම්රිය මාර්ගයේ ඉදිරියට ඇවිද එන බලු පැටියාගේ ඉරණම ගැන අමුතුවෙන් කිව යුතු නැත. සමහරු කම්මුල්වල අත තබා ගෙනය. සිදු වන්නේ කුමක්දැයි බැලීමට පසුපස සිටින අය පොදි කෑහ. බෝම්බයක් වුව ද, බලන්නට පොරකෑම අපේ රටේ සිරිත යැයි ජිනසෝමට සිතුණි. එහෙත් කිසිවෙකු මේ බලු පැටියා මාර්ගයෙන් ඉවත් කිරීමට ඉදිරිපත් නොවීම ගැන ඔහුගේ සිතට කෝපය මුසු කළේය.

මේ අතර, එක්වරම උස් පහත් ගොඩනැගිලි, ගෙවල් හා මුඩුක්කු පේලි සිසාරා ඇවිද ආ ආලෝක පුංජයක් වේදිකාව දෙසට ද, අවතීර්ණය වී අතුරුදන් විය. බොහෝ දෙනෙකු ඒ කුමක්ද, කොහෙන් පැමිණියේද යනුවෙන් ප්‍රශ්න කළහ. අටල්ලක සිටි සොල්දාදුවෙකුගේ දුරේක්ෂයකින් වැටුණ පරාවර්තනයක් ලෙස ජිනසෝමට කල්පනා විය.

මිනිසුන්ගේ ආරක්ෂාව ගැන සීරුවෙන්, සතුන්ට ඒ අයිතිය නැත්තේ ඇයි, ජිනසෝම කල්පනා කළේය.

අනුකම්පාවෙන් බලු පැටියා දෙස බලන පිරිස වැඩිවන්නට විය. සිදුවන දෙය පිළිබඳව හැමෝම පාහේ අදහස් දක්වන්නට විය.

“කෝච්චියක් ආවොත් නං කෑලි තමයි.”

කෙනෙකු පවසනු ජිනසෝමට යළිත් ඇසිණි. රැස් කකා සිටි සෙනඟ තුළ කසු කුසුව එන්න එන්න වැඩි විය. ඇතැමෙකු තම නි‍ෙවසේ වෙසෙන බල්ලාගේ කුඩා අවදිය වර්ණනා කළහ. තවකෙකු පූර්ව කර්මය ගැනත් පුනර්භවය ගැනත් කතා කරද්දි ජිනසෝම අසලම සිටි කාන්තාවක් පැවසුවේ, “ආ… හොඳ වර්ගයේ බල්ලෙක් ක්‍රොස්වෙලා. රෝසපාටයි තව එක ආත්මයයි යනුවෙනි.” “මූ නං කව්රු හරි ගැට ගහගෙන හිටපු එකෙක්” තවකෙකු පැවසීය. පොතක් ලියන්න තරම් කරුණු විය.

සුද්දො අපේ මිනිස්සුන්ගෙ නම් උන්ගෙ වැඩකාරයින්ට දැම්ම, අපේ මිනිස්සු උන්ගෙ නම් අපේ බල්ලන්ට දාගත්ත සිය ගණනකගේ නින්දා ප්‍රශංසා මැද ඉදිරියට ඇදෙන බලු පැටියා එලෙස ජිනසෝමගේ සිතට ඉතිහාස සිදුවීම් මතු කරන්නට සමත් විය.

“මේකා පිස්සු බල්ලෙක් ද කොහෙද” කෙනෙක් පැවසීය. ජිනසෝම මේ කතාබහට ද ඇහුම්කන් දෙමින් දුම්රිය මාර්ගය දෙස විපරමින් බලා සිටියේය. බලු පැටියා රේල් පාර මැදින් ඉදිරියට එයි. නිශ්චිත අරමුණකට දිවයන ස්වභාවයක් ඒ ගමනෙහි දිස්විය.

අඳුර අහස වසා ගත්තාක් මෙන්, හැම කෙනෙකු තුළින්ම පිළිබිඹු වූයේ භීතිය සමඟ ගැහෙන හදවත්වලින් යුතු අඳුරු මුහුණුය. නිමේෂයකින් බලු පැටියා දුම්රියකට යටවී සුනු විසුනු වී යන ආකාරය පිළිබඳ වූ අපේක්ෂාවන් හදවත්හි කිඳා බැස තිබුණි.

ජිනසෝමට බිරිඳ සහ දරුවන් මතක් විය.

“ඔයා නං කවදාවත් සත්තුන්ට ආදරය කරල නෑ. ඔයා වයසට ගියහම ළමයිනුත් එහෙම කරයි.”

ඒ වචනවලට ඔහු පිළිතුරු සැපයුවේ නැත. නි‍ෙවසට සතෙක් ගෙනාවොත් ඌට කිසිම සීමා මායිමක් නොමැති බව ඔහු හොඳින් දනී.

නයන්ති මට කොහොම දොස් කිව්වත් මම එයාගෙ අම්මා තරම් නපුරු නැහැ. ජිනසෝමගේ සිතට තව තවත් සිතුවිලි ගලන්නට විය. මාසෙ පෝයටත් සිල් ගත්ත නයන්තිලගෙ අම්ම කැරපොත්තෙක් මකුණෙක් දැක්ක ගමන් තළල පොඩි කරල දානව. කරපිංච ගහේ නඟින ගොළුබෙල්ලෙක් දැකල තාර පාරෙ ගහල පොඩි කළා. මට දොස් නැඟුවට මම සතුන්ට හිංසා කරන්න කැමති නැහැ. ජිනසෝමට, ඉදිරියට ඇදෙන බලු පැටියාගේ ආත්මය පෙනෙන්නට විය. කර්මය ඌ පසුපස ලුහුබැඳ ඇතැයි ඔහුට එක්වරම සිතෙන්නට විය.

මොහොතකින් නතර වූ බලු පැටියා සිල්පර කොට අතර යමක් සොයන්නට විය. පරෙවියන් හා කපුටන්ගෙන් කිසිවක් ඉතිරිවී ඇති ද, වේදිකාවෙන් ද කිසිවක් විසි නොවුණි. පිටුපසින් සිටි කෙනෙක් බෑගය විවෘත කර යමක් කටට දා ගත් නමුත් එය ගැස්ටික් නිසා ගන්නා යමක් විය හැකි යැයි ජිනසෝම කල්පනා කළේය. වේදිකාවේ දෙපස ඉදිරි පෙළ සෙනඟ ශෝකී මුහුණකින් එදෙස බලා සිටිති. යළිත් බලු පැටියා ඉදිරියට ඇදෙන්නට විය.

ජිනසෝම අළුතින් සිතන්නට උත්සාහ කළේය. මේ අතර පිටුපසින් සෙනඟ පීරා ගෙන පැමිණි කෙනෙක්, එක්වරම “මේ වගේ කැහැටු බල්ලෙක් ඊයෙ අපේ ගමේ මැරිල හිටිය. කටින් සෙම දාගෙන, මූ ඔහොම හිටියට ප්ලැට් ෆෝම් එකට නැඟගත්තොත් නං හත් අට දෙනෙකුම හපා කාවි, කෙළ ටිකක් ගෑවුණොත් ඇති” යනුවෙන් කියාගෙන කියාගෙන ගියේය. ගුප්ත බලවේගයක් මෙන් ඉදිරියට ගාටන බලු පැටියා දෙස ශෝකයෙන් ජිනසෝම බලා සිටියා මිස කිසිවක් පැවසුවේ නැත. කුඩා රෝද මත විශාල අඳුරු පැහැ ගත් පෙට්ටි සමූහයක් තැබුවාක් වැනි දුම්රියක් ඇදී එන ආකාරය ජිනසෝමට මැවී පෙනෙන්නට විය. ක්ෂණිකව ඈතින් ඇසුණු හඬ වහා සිය මනස අවදි කළාක් මෙන් දුම්රියක් වංගුවෙන් මතු විය.

ඒ මොහොතින් රේල් පාරට පැන්න ජිනසෝම බලු පැටියා වේදිකාව මත තබන්නටත් ප්‍රථමයෙන්, ජිනසෝමගේ වැලමිටෙන් පහළ කොටස වියරුවෙන් සපා කෑවේය. පරිසරයේ දැඩි උණුසුමට රත් වූ සිරුරින් වහනය වූ රක්ත වර්ණ ලේ බිඳු සිය ඇඳුම මත වැතිර රත්පැහැය බොඳ කරන්නට විය. බොහෝ දෙනෙකු අත් කම්මුල්වල තබා ගෙන කම්පා වූහ.

“බල්ල, හපා කෑවත් මිනිහ ෆිට්” දෙවන වේදිකාව දෙසින් ඇසුණි. බල්ලෙක්, පූසෙක් වගේ සතෙක් අල්ලන විට හපා කන්නට නොහැකි වන ආකාරයට කරන්නේ කෙසේ දැයි, මිනිස්සු කතා කරන්නට විය. “හරියට කර මුලින්ම අල්ලන්න ඕනෑ, එතකොට මීක් කියන්නවත් බැහැ.”

“නෑ නෑ මෑන්ගෙ ඇඟිලි හරියට නියම තැනට ගියා. කෝචිචිය එන අස්සෙ කලබල වෙන්නැත්තෙ කවුද” තවකෙකු එය සාධාරණය කරන්නට විය.

“ඔය බල්ලට පිස්සු, අපරාදෙ ගෙදර යන්ඩ ආව මනුස්සයට වෙච්ච දේ” කෙනෙකු එසේ පවසද්දී තවකෙකු පැවසුවේ “ඌට ඇති පිස්සුවක් නෑ, පිස්සු බල්ල මග දිගට මිනිස්සු හපාකමින් තමයි දුවන්නෙ.”

ජිනසෝම වචනයකුදු නොපැවසුවේය. වේදිකාවේ සිටි කෙනෙක් ඔහු කෙරෙහි උනන්දුවන සෙයක් පෙනුණිද, කිසිවක් නොතකා තම ලේන්සුවෙන් සපා කෑ තැන ඔතමින් ජිනසෝම දුම්රියපළින් පිටව ඇසුන දෙය හා දකින දෙයහි වෙනස ගැන සිතමින් හයිලෙවල් පාර දෙසට ඉක්මන් අඩි තැබුවේය.

දුම්රිය සෙමෙන් ඉදිරියට ඇදෙමින් තිබිණි.

සුනිල් කුමාරසිංහ අතුකෝරල කළගෙඩිහේන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT