ශ්‍රී ලංකාවේ කම්කරු සැමරුම ඇරඹීම නිමිත්තෙන් මත දෙකක් ප්‍රකාශව තිබේ. ඉන් එක් මතයකින් කියැවෙන්නේ ඒ.ඊ. ගුණසිංහ මහතාගේ ප්‍රමුඛත්වයෙන් 1927 වසරේදී පළමුවරට එම සැමරුම ඇරඹි බවයි. එහෙත්, තවත් මතයකින් කියැවෙන්නේ ඒ.ඊ. ගුණසිංහ මහතාගේ ප්‍රමුඛත්වයෙන්ම 1933 වසරේදී සැමරුම ඇරඹි බවයි.
වර්තමානයේ මැයි පළමුවැනිදා යනු ශ්‍රී ලංකාවේ නිවාඩු දිනයකි. එය නිවාඩු දිනයක් බවට පත්කරනු ලැබුවේ 1956 වසරේදී මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුව නියෝජනය කළ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ මූලිකත්වයෙනි. කොයිහැටි වෙතත් ශ්‍රී ලංකාවේද හේමාකට් සිදුවීම මෙන්ම කම්කරු අයිතීන් වෙනුවෙන් ඉදිරිපත් වූ අවස්ථාවන්ද නැතුවා නොවේ. ඉන් එක් සිදුවීමක් වන්නේ 1929 වසරේදී ට්‍රෑම්කාර් වර්ජනයට සහභාගි වෙමින් එයට සහයෝගය දුන්නායැයි හඳුන්වන පොන්සිනාහාමි නම් වූ කාන්තාව ගෙන ගිය අරගලයයි. එදිරිවීර ආරච්චිගේ පොන්සිනාහාමි නමින් වූ ඇය ජීවත්ව වූයේ මරියකඩේ, සුදුවැල්ල හා කොළඹ යන ප්‍රදේශවලයි. පොන්සිනාහාමි මුල්වරට කම්කරු අයිතීන් වෙනුවෙන් සටන් කරන්නට ඉදිරිපත් වූයේ 1923 මහා වැඩවර්ජනයත් සමඟිනි.
කම්කරු අයිතීන්
1886 වසරේ චිකාගෝහි කම්කරු අයිතීන් වෙනුවෙන් සටන්කළ සමයට ආසන්නයේදීම මෙරට තුළත් මහා පරිමාණයෙන් කම්කරු අයිතීන් වෙනුවෙන් සටන්කළ ව්‍යාපාර ඇරඹිණි. මේ සියල්ල ගොඩනැඟුණේ විදේශිකයින් පවා ශ්‍රී ලංකාවේ තම පාලන බලය අල්ලාගෙන සිටියා වූ කාලවලදීය. මූලික වශයෙන් සඳහන් කළ හැකි වැඩවර්ජනයක් වන්නේ මුද්‍රණ සේවකයන් විසින් 1893දී කළා යැයි සැලකෙන වැඩවර්ජනයන්ය. එය ශ්‍රී ලාංකේය ඉතිහාසයේ පළමුවරට සංවිධාන ශක්තියකින් යුතුව බිහිවූ කම්කරු අරගලයයි. මෙම අරගලය වෙනුවෙන් මුද්‍රිත සමාගම්වල මෙන්ම පුවත්පත් කාර්යාලවල සේවය කරන්නන් දහස් ගණනින් එක්වූ අතර, එය හැඳින්වූයේ එච්.ඩබ්ලිව්. කේව් සමාගමේ මුද්‍රණකරුවන් ආරම්භ කළ අරගලයක් ලෙසිනි. එහෙත්, මෙම වර්ජනය අසාර්ථකව දියාරු වීමෙන් පසු ඒ තුළින් ‘මුද්‍රණ කම්කරුවන්ගේ සංගමය’ නම් වූ පළමු වෘත්තීය සමිති ව්‍යාපාරය ඇරඹිණි. එමෙන්ම අතීතයේ අරගලයන් ගෙනහැරපාන තවත් එක් වර්ජනයක් වන්නේ යටත්විජිත පාලනය යටතේ 1986 වසරේදී දියත් වූ රෙදි අපුල්ලන්නන්ගේ වැඩවර්ජනයයි. මෙය ආරම්භ වූවා යැයි සැලකෙන්නේ මුද්‍රණ සේවකයින්ගේ වැඩ වර්ජනය සිදුව වසර තුනකට පසුවයි. ස්ත්‍රී – පුරුෂ භේදයකින් තොරව සියලුදෙනාම එකාවන්ව එකමුතුව සටන්කළ මෙකී වර්ජනය සති තුනක් පුරා දිග්ගැස්සෙමින් පැවැති බව කියැවේ.
ඉන්පසු 1900 දශකයේ පළමුවරට ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ඇතිවූ වැඩවර්ජනය ලෙසින් සඳහන් කළ හැක්කේ, 1906 අගෝස්තු මස 13 වැනිදා ආරම්භ කරන ලද මහා වැඩවර්ජනයයි. මෙම වර්ජනය ආරම්භ කිරීමට මුල්වූයේ කොළඹ නගර සභාව විසින් කරත්තකරුවන් වෙත පැනවූ නීතියයි. මෙහි සඳහන් වූයේ කරත්තය දක්කාගෙන යන අවස්ථාවේදී කරත්තය මත හෝ බෝන්ලීයේ වාඩිවී යාම තහනම් කිරීමයි. මෙම නීතියට එරෙහිව කරත්තකරුවන් බහුතරයක් දෙනා මෙම වැඩ වර්ජනය හා සම්බන්ධ වීමත් සමඟ එවක ප්‍රධානතම ප්‍රවාහන මාධ්‍යයක් වූ කරත්තයේ සේවය ඇනහිටිණි. ඒ කෙසේ වෙතත් මෙම වැඩවර්ජනය තුළින් කරත්තකරුවන් ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගන්නට සමත් විණි. ඒ කොයිහැටි වෙතත් ශ්‍රී ලාංකේය ඉතිහාසයේ විශාලතම වැඩවර්ජනය ලෙසින් සඳහන් කළ හැකි වන්නේ 1920 මාර්තු 20දා කොළඹ වරායේ කම්කරුවන් ඇරඹි මහා වැඩ වර්ජනයයි. මේ වර්ජනය වෙනුවෙන් 5000ක පමණ දෙනා සහභාගි වූහ.
ශ්‍රී ලාංකේය ඉතිහාසයේ මහත් කතාබහට ලක්වූ වැඩවර්ජනය වන්නේ 1940 දශකයේ ආරම්භයේදීම ඇතිවූ ‘මුල්ඔය’ වතු කම්කරු සටනයි. මෙම වතු කම්කරු සටන ඇරඹියේ ජෙගනාදන් යනුවෙන් වතු සේවයේ යෙදී සිටි අයකුගේ හා ඔහුගේ බිරියගේ ස්ථාන මාරුව අවලංගු කරන ලෙසත්, දිනක වැටුප ශත දහසයකින් ඉහළ දමන ලෙසත් ඉල්ලා සිටීමෙනි. කෙසේ වුව මෙම වර්ජනය ඉතිහාසයේ ලියැවී තිබෙන්නේ මුල්ඔය කර්මාන්ත ශාලාව අවට පෙළපාළිකරුවන් එක්රැස් වී සිටියදී පොලීසිය කළ වෙඩි තැබීමෙන් කම්කරුවකු මිය යාමත් සමඟිනි. මියගිය පුද්ගලයා ‘ගෝවින්දන්’ නම් අයකු වූ අතර, පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක්වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතු කම්කරුවා වන්නේ ද ඔහුය. එමෙන්ම ශ්‍රී ලාංකේය ඉතිහාසයේ තවත් කතාබහට ලක්වූ වැඩවර්ජනයක් වන්නේ 1980 ජූලි 05 වැනිදා ආරම්භ වූ වර්ජනයයි. එදා වර්ජනයට සහභාගිවූවන් මේ දක්වා හැඳින්වෙන්නේ ජූලි වර්ජකයින් ලෙසිනි. මෙය කතාබහට ලක්වූ මාතෘකාවක් වන තරමට වැදගත් වන්නේ සේවකයන් 40,000කට වඩා තම සේවය අහිමිව යාමයි. එවක පැවති රජය විසින් වර්ජනයට සහභාගිවූවන් සියලු දෙනාම පාහේ සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කළ අතර, සිරගත කිරීම් මෙන්ම පහරදීම් ද නොඅඩුව සිදුවිණි. වාර්තාවන්හි දැක්වෙන්නේ 39 දෙනෙකු සියදිවි හානිකරගත් බවයි. මෙහිදී පැවති එක් උද්ඝෝෂණයකදී පහරදීම් හමුවේ එක් කම්කරුවකු මිය යන්නට විය. එමෙන්ම 2011 වසරේදී ද කම්කරුවන් විසින් පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් පනතට එරෙහිව ගෙන ගිය උද්ඝෝෂණයේදී 2011 මැයි 30 වැනිදා සිදු වූ වෙඩිතැබීමකින් එක් අයකු මිය ගියේය.
යුක්තිය
1987 මැයි පළමුවැනිදා යනු ශ්‍රී ලංකාවේ කම්කරුවන්ට තහනම් දිනයක් විය. එනම්, එවක පැවැති ත්‍රස්ත කලබල හේතුවෙන් මැයි දින රැලි සැමරුම පැවති රජය විසින් තහනම් කිරීමයි. ඒ කෙසේ නමුත්, රජය දැනුම්දීම් තුට්ටුවකටවත් මායිම් නොකරමින් මව්බිම සුරැකීමේ ව්‍යාපාරය රැලියක් පවත්වන ලදි. ඒ සඳහා නාරාහේන්පිට අභයාරාමයට විශාල පිරිසක් එක්රැස් වූ අතර, ඔවුනට පහරදීම සඳහා විශාල පොලිස් බලඇණියක් ද සන්නද්ධව සිටියහ. කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාරයන්ගෙන් පසුව පොලීසිය වෙඩි තැබූ අතර, එහිදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලෙස්ලි ආනන්ද ලාල් හා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කිත්සිරි මෙවන් රණවක මිය ගියහ. තහනම් මැයි රැලිය ඔවුන්ගේ ජීවිතවල නැවතුම් තිත තැබුවේ එලෙසිනි.
කොයිහැටි වෙතත් කාලයෙන් කාලයට ලෝකයේ කවර තැනක හෝ කම්කරුවන් විසින් ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කිරීම යුක්ති සහගතය. ඒ සියලු දෙනාටම ඇති අයිතියකි. අයිතීන් මුවාවෙන් සිදු කෙරෙන පෞද්ගලික දේශපාලනික න්‍යායන් සිදුකෙරෙන අවස්ථාද නැතුවා නොවේ. එහෙත්, කවුරුන්, කෙලෙසින් කීවද මේ සියල්ල ලඝු වන්නේ කම්කරු දිනය ලෙසින් නම් වූ මැයි පළමුවෙනිදා යටතටය.
රජිත බස්නායක
din-05-01-pg23-R1