ජාතික මට්ටමින් ටයිකෝට් ඇඳගෙන කළ හොරකම් ප්‍රාදේශීය සභා මට්ටමින් එළිපිට සිදුකළ බවත් ඉදිරියට එවැන්නක් සිදුවීමට ඉඩ නොතබන බවත් අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය.
හොරණ සහ බුලත්සිංහල ප්‍රදේශවල පැවති ජනහමු අමතමින් අගමැතිවරිය මේ බව සඳහන් කළාය.
මේ සියල්ලට මැදිහත් වෙන්න ප්‍රාදේශීය සභාවට විශාල බලයක් ඇති බවත්, එළැඹෙන මැයි හය වැනි දින හොරුන්ගෙන් ප්‍රාදේශීය සභාව බේරා ගැනීමට ඉදිරියට එන ලෙසත් අගමැතිවරිය පැවසුවාය.
අගමැතිවරිය වැඩිදුරටත් මෙසේ ද පැවසුවාය.
“දැන් ජනාධිපති ධුරයත් තියෙනවා, පාර්ලිමේන්තුවේ දැවැන්ත බලයක් තියෙනවා, තව මොනවද ඕන රට හදන්න කියලා ඔබට හිතෙනවා ඇති.
හැබැයි ඔබ සියලු දෙනාම පිළිගන්නවා ඇති ප්‍රාදේශීය සභාවකින් විය යුතු වැඩක් තියෙනවා. කළ යුතු සේවාවක් තියනවා.
ප්රජාතන්ත්රවාදය කියන එක පවතින්නේ තමන් පත්කරගත්ත මහජන නියෝජිතයින් හරහා සිද්ධවෙන වැඩ තුළින්, ගමට සමීපතම නියෝජිතයා ප්‍රාදේශීය සභාවේ තමයි ඉන්නේ. ඔබේ එදිනෙදා ජීවිතය පහසු කරන බොහෝ කටයුතුවලට වගකියන්න ඕනේ ප්‍රාදේශීය සභාව.
ජාතික මට්ටමින් ටයිකෝට් ඇඳගෙන හොරකම් කළා. පළාත් පාලන ආයතන ටයි කෝට් නොමැතිව අමුඅමුවේ හොරකම් කළා. ඒකනේ මෙතෙක් සිද්ධ වුණේ. ප්‍රාදේශීය සභා කියන ඒවා මිනිස්සුන්ට සත පහකට වැඩක් වුණේ නැහැ. ඒක තමා ඇත්ත කතාව. යළි එහෙම වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ.
දරුවෙක් පිළිසිඳ ගත්ත මොහොතේ සිටම ප්‍රාදේශීය සභාවට වැඩ තියෙනවා, මාතෘ සායන පවත්වන්න ඕන, දරුවා එන්නත් කරන්න ඕන, ඉපදුණායින් පස්සේ දරුවන්ගේ සෞඛ්‍යයට වගකියන්න ඕන, මවුවරුන්ගේ සෞඛ්‍යයට වගකියන්න ඕන, දරුවන්ගේ, මවුවරුන්ගේ පෝෂණ තත්ත්වයට වගකියන්න ඕන. පෙර පාසල් දිවාසුරැකුම් පවත්වාගෙන යන්න ඕන, ප්‍රාථමික අධ්‍යාපනය, ද්විතීක අධ්‍යාපනය, දරුවන්ට අවශ්‍ය ගමේ සේවාවන් පුස්තකාල, රංග ශාලා, තරුණ සංගම්, තරුණ සමිති, තරුණ තරුණියන්ට සෞඛ්‍ය වර්ධනය, අමතර පන්ති පැවැත්වීම සිදු කරන්න ඕන.
වැඩිහිටියන්, කාන්තාවන්, ව්‍යවසායකයන් වෙනුවෙන් කරන්න වැඩ කොටසක් තිෙයනවා. අන්තිමට සොහොනට යනකොට ඒකත් ගෞරවාන්විත විදිහට යන්න පුළුවන් විදිහට හදන එකත් ප්‍රාදේශීය සභාවේ වගකීම.”
නුවන් කොඩිකාර