රජයේ රෝහල් පද්ධතිය තුළ කිසිදු ආකාරයකින් ඖෂධ හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බවත් ඖෂධ සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය යන්ත්‍රණය මේ වනවිට ශක්තිමත්ව ක්‍රියාත්මක වන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂැන්හොන් (Qi Zhenhong) මහතා අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති විශේෂ හමුවකදී ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින ශක්තිමත් මිත්‍රත්වය තවතවත් වර්ධනය කර ගැනීම සහ මෙරට සෞඛ්‍ය සේවාව ශක්තිමත්ව සහ විධිමත්ව ඉදිරියට පවත්වාගෙන යෑම පිළිබඳවත් මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමත් අරමුණු කර ගනිමින් මෙම හමුව පැවැත්විණි.
සාකච්ඡාව ආරම්භයේදීම අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂැන්හොන් (Qi Zhenhong) මහතා මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නිරත ජනමාධ්‍යවේදීන්ට විශේෂ ජනමාධ්‍ය පුහුණු වැඩසටහනක් නුදුරු දිනයකදීම චීනයේ දී පැවැත්වීමට අවශ්‍ය සැලසුම් මේ වනවිට ක්‍රියාත්මක කර තිබෙන බව ද පැවසීය. ඊට අදාළ ඉදිරි පියවර ක්‍රියාත්මක කිරීම සඳහා චීන තානාපතිවරයා ඇමැතිවරයාව දීර්ඝව දැනුම්වත් කිරීමට ද මෙහි දී පියවර ගන්නා ලදි.
ශක්තිමත්, කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් මෙරට තුළ පවත්වාගෙනයෑමට අවශ්‍ය මානව සම්පත් සංවර්ධනය සහ ඊට අදාළ විශේෂඥ දැනුම, ගුණාත්මක තත්ත්වයෙන් උසස් ඖෂධ, නවීන තාක්ෂණයෙන් යුත් වෛද්‍ය උපකරණ භාවිතය, රෝහල්වල භෞතික සම්පත් සංවර්ධනය වැනි කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරිණි.
චීන රජයේ සිටින ආයෝජකයින්ට මෙරට ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට මෙරටට පැමිණෙන ලෙසට ඇමැතිවරයා මෙහිදී ඉල්ලීමක් ද සිදු කළ අතර ඒ පිළිබඳව චීන රජය දැනුම්වත් කර ඉදිරියේදී කඩිනම් පියවර ගන්නා බව ද චීන තානාපතිවරයා පැවසීය.
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මෙරට ඖෂධ නිෂ්පාදනය කරන එකම රාජ්‍ය ආයතනය බව පෙන්වා දුන් ඇමැතිවරයා, එම ආයතනය තුළින් උපරිම ධාරිතාවකින් මෙරටට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කිරීමට වර්තමානයේ කටයුතු කරන බවත්, දේශීය ඖෂධ නිෂ්පාදකයන් දිරිගන්වමින් ඔවුන්ට අවශ්‍ය සහන ලබා දෙමින් මෙරටට අවශ්‍ය ඖෂධ රට තුළ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සහාය නිබඳවම ලබා දීම නව රජයේ අරමුණ බවත් කීය.
සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ඖෂධ සඳහා ක්‍රියාත්මක කරන විශේෂ වැඩපිළිවෙළට අනුව ඉදිරියේ දී මෙරට වෙෙළඳපොළ තුළ ද ඖෂධ සැලකිය යුතු මුදලකින් අඩුකිරීමට හැකියාව ලැබෙන බව ද ඇමැතිවරයා පැවසීය.
මෙරට සුව සත්කාර සේවාවට අවශ්‍ය වන අත්‍යවශ්‍ය ඖෂධ නාමලේඛනය ඇමැතිවරයා විසින් මෙහිදී තානාපතිවරයා වෙත පිළිගැන්වූ අතර චීන රජය සමඟ සාකච්ඡා කර ඊට අදාළ සුබදායී පිළිතුරක් කඩිනමින් ඇමැතිවරයා වෙත ලබාදෙන බවට චීන තානාපතිවරයා මෙහිදී ඇමැතිවරයාට සහතික විය.
ශ්‍රී ලංකාවට කුමන අභියෝගයන් පැමිණිය ද එම අභියෝගවලට සාර්ථකව මුහුණ දීමේ දී අවශ්‍ය වන නිබඳ සහාය ළඟම මිතුරා ලෙසින් චීන රජය ලබා දෙන බවත්, විශේෂයෙන් කොවිඩ් වසංගත සමයේත්, ආර්ථික අර්බුදය හමුවේත් මෙරටට ලැබුණු සහයෝගය ඉතා ප්‍රශංසනීය බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවාදීව ජනතා සුබසිද්ධියම ප්‍රමුඛ කරගනිමින් ගෙනයනු ලබන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා චීන රජයේ දායකත්වය මෙන්ම මැදිහත්වීම අවශ්‍ය ඕනෑම අවස්ථාවක ලබාදීමට නොපැකිළිව ඉදිරිපත්වන බව ද මෙහි දී ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ඇමැතිවරයා හමුවේ පවසා සිටියේ ය.
මෙම හමුවේදී චීන තානාපතිවරයා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි ප්‍රගමනය සඳහා යෝජනාවන් කිහිපයක් ද ඇමැතිවරයා වෙත ඉදිරිපත් කළේ ය.
මෙම සාකච්ඡාමය අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහත්වරුන් සහ චීන තානාපති කාර්යාලයේ නියෝජිතයෝ ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
සන්ධ්‍යා කරුණාරත්න