Friday, May 2, 2025
Home » මදුරු මර්දන මාසය ලෙස මැයි නම්කරයි

මදුරු මර්දන මාසය ලෙස මැයි නම්කරයි

by sachintha
May 1, 2025 1:18 am 0 comment

විශේෂ මදුරු මර්දන මාසයක් ලෙස මැයි මාසය නම් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

ඒ අනුව අද (01) සිට 31 වැනිදා දක්වා කාලය විශේෂ මදුරු මර්දන මාසය ක්‍රියාත්මක වේ.

මැතිවරණය සහ වෙසක් උත්සවය හේතුවෙන් ජනතාවගේ අවදානයෙන් ඩෙංගු රෝගය ගිලිහී යාමක් සිදු විය හැකි බැවින් ඩෙංගු මර්දන මාසය ලෙස මෙම මාසය ප්‍රකාශයට පත් කර ඇතැයි ද ඒ මහතා පැවසුවේය.

ජනතා අවධානයෙන් ඩෙංගු මදුරුවා ගැන ගිලිහීමක් සිදුවුවත් මදුරුවාගේ ක්‍රියාකාරීත්වය අඛණ්ඩව පැවතීම නිසා මේ කාලය තුළදී ඩෙංගු වැඩි වීමේ ප්‍රවණතාවක් පවතින බව ද ඔහු ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (30) ප්‍රකාශ කළේය.

මේ වර්ෂයේ ආරම්භයේ සිට මේ දක්වා ඩෙංගු ආසාදිතයන් 17,459ක් සහ මරණ 6ක් වාර්තා වී ඇතැයි ද, බස්නාහිර පළාතෙන් ඩෙංගු ආසාදිතයන්ගේ වැඩි වාර්තාවීමක් සිදු වන්නේ යැයි ද වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු මරණ 2ක් ද, ගම්පහ, මොනරාගල, මඩකලපුව, රත්නපුර දිස්ත්‍රික්කවලින් එක් අයකු බැඟින් සමස්ත ඩෙංගු මරණ 6 ක් වාර්තා වී තිබේ.

ඉදිරි කාලයේදී ඇතිවිය හැකි නිරිතදිග මෝසම් වර්ෂාවත් සමඟ ඩෙංගු මදුරුවන්ගේ ව්‍යාප්තිය ඉහළ යා හැකි බවත් කීට විද්‍යා සමීක්ෂණ අනුව ඩෙංගු කීටයන්ගේ වැඩිවීමක් පවතින බවත් ඒ මහතා පැවසුවේය.

විශේෂ මදුරු මර්දන මාසය තුළදී මුළු රටම ආවරණය වන පරිදි විශේෂ මදුරු මර්දන වැඩසටහන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මෙහෙය වීමෙන් ග්‍රාම නිලධාරි කොට්ඨාස මට්ටමින් පැවැත්වීමට කටයුතු කිරීම, හඳුනා ගත් අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස ඉලක්ක කර ත්‍රිවිධ හමුදාවේ, ශ්‍රී ලංකා පොලීසියේ, සිවිල් ආරක්ෂක බළකායේ, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන සංවිධාන හා පුද්ගලයන්ගේ සහාය ඇතිව විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාවට නැංවීම, නිවෙස්වල එක්ව ඇති ඝන අපද්‍රව්‍ය පළාත් පාලන ආයතන මූලිකත්වයෙන් සහ ප්‍රාදේශීය ඩෙංගු මර්දන කමිටුවේ මඟපෙන්වීමෙන් බැහැර කිරීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීම, අවදානම් ප්‍රදේශ ඉලක්ක කරගෙන ධූමායන කටයුතු සිදු කිරීම යනාදී වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ. ඩෙංගු සහ චිකන්ගුන්යා වාහක ඊඩිස් මදුරුවන් බෝ නොවන ලෙස තම නිවෙස, ආයතනය සහ අවට පරිසරය පවත්වාගෙනයෑම ජනතාවගේ වගකීමක් බව ද වෛද්‍ය සමරවීර මහතා පැවසුවේය.

සන්ධ්‍යා කරුණාරත්න, උදාරා පාරමී

ඡායාරූප සුලෝචන ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT