අපනයන භාණ්ඩවලට අමෙරිකාවෙන් 44%ක බදු පැනවීමෙන් මෙරට ආර්ථිකයටත් කාන්තාවටත් විශාල බලපෑමක් සිදු වන බැවින් ඒ සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පෙත්මසමක් යොමු කිරීමට ‘ස්ත්‍රී මධ්‍යස්ථානය’ තීරණය කර ඇත.
ස්ත්‍රී මධ්‍යස්ථානයේ ප්‍රධානත්වයෙන් නිදහස් වෙළෙඳ කලාපයේදී අද (01) උදෑසන පැවැත්වෙන කම්කරු දින රැලිය අතරතුර මෙම පෙත්සම සඳහා අත්සන් ලබා ගැනීමේ කටයුත්ත ද ආරම්භ කෙරෙන බව ඊයේ (31) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි සභාපති පද්මිණී විරසූරිය මහත්මිය සඳහන් කළාය.
ගම් මට්ටමින් මෙම පෙත්සම සඳහා කාන්තාවන්ගේ අත්සන් ගැනීමේ වැඩපිළිවෙළක් සකසා ඇති බව ද ඇය පැවසුවාය.
සති දෙකක් ඇතුළත මෙම පෙත්සම අමෙරිකානු ජනාධිපතිවරයා වෙත යොමුකර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අගමැතිනි හරිනි අමරසූරිය මෙණෙවිය ඇතුළු රජයේ අවධාරණයටත් යොමු කරන බව ඇය සඳහන් කළාය.
ඇඟලුම්, රබර් ආශ්‍රිත නිෂ්පාදන, තේ සහ කුරුඳු වැනි භාණ්ඩ රැසක් අමෙරිකාවට අපනයනය කෙරෙන අතර, අමෙරිකාවේ මුළු ඇඟලුම් ආනයනයෙන් 17%ක් ශ්‍රී ලංකාවට හිමිව ඇති බවත් පෙන්වා දුන් ඇය අවධාරණය කළේ, මෙම අපනයනය නිෂ්පාදනය සඳහා වැඩි දායකත්වයක් දක්වන්නේ කාන්තාව බවයි.
මෙරට ශ්‍රම බළකායෙන් 15%ක් ඍජුවම ඇඟලුම් කර්මාන්ත ආශ්‍රිත රැකියා සමඟ සම්බන්ධ වන බවත් එය ආසන්න වශයෙන් 3,50,000ක් වැනි විශාල පුද්ගලයන් සංඛ්‍යාවක් බවත් ඔවුන්ගෙන් යැපෙන්නන් සංඛ්‍යාව ලක්ෂ 10ට වැඩි බවත් ඇය සඳහන් කළාය.
රන්මලී සෝමසිරි සහ ඉෂාරා දේවෙන්දනී
ඡායාරූප – නිශ්ශංක විජේරත්න