Home » පිත්තල පිළිමෙ

පිත්තල පිළිමෙ

by sachintha
May 1, 2025 1:20 am 0 comment

පියදාස රස්සාව විදිහට අවුරුදු ගණනාවක් තිස්සෙ කළේ හාන්සි පුටු වියලා ගෙවල් ගානෙ ගිහින් විකුණන එක. මොරටුවෙ පදිංචි ඔහු මොරටුවෙන්ම තරමක් අඩුවට ගන්න හාන්සි පුටු ටික, අඟිලි පුරුක් ගෙවෙනකම් කූඤ්ඤ ගගහා වියලා, එකපිට එක කර තබාගෙන පයින්ම ගෙවල් ගානෙ ගෙනිහින් විකුණනවා. මහන්සියෙ හැටියට හරිහමන් ගාණක් හම්බ නොවුණත් පියදාස මහන්සිය අමතක කරලා පාරක් පාරක් ගානෙ හරි ඇවිදින්නෙ පුරවන්න බඩවල් හතරක්ම තියෙන හන්දා.

නැවතත් වටෙන් පිටෙන් කොරෝනා සිද්ධි එළිබහින්න ගත්තට පස්සෙ පියදාසගෙ හාන්සි පුටු අලෙවියට පහර වැදුණෙ කාට වුණත් අමතර දෙයකට වියදම් කරන්න අත මිට සරු නොවූ නිසා. එකම පුටුවක් වත් විකුණුනේ නැති දවස් ගණනාවකට පස්සෙ, ගෙදර තිබුණ අන්තිම හාල් ටික ගෙදර එක්කෙනා ළිපට කරද්දිම තමයි එදා පියදාස ගෙදරින් එළියට බැස්සෙ. දන්නෙම නැතුව කවදාටත් වඩා වැඩි දුරක් ඔහු ගෑටුවෙ කොහොමහරි එක පුටුවක් හරි විකුණ ගන්න. උදේටත් නොකා ගෙදරින් ආව ඔහු, හිතේ වීරියටම ගාලු‍ පාරෙන් ඇවිත් තවත් අතුරු පාරකට හැරිලා ටික දුරක් ගියත්, හිතේ වීරිය ගතේ වීරියට මෙල්ල වුණ එක තැනකදි පියදාස හුස්ම අල්ලන්න ගේට්ටු කණුවකට වාරු වුණේ පපුවෙ මහන්සියටයි බඩේ දැවිල්ලයි දෙකම කැටිවෙලා ආව අමාරුවට. හැටකටත් ආසන්න ජීවිතයේ, පහු කරපු මඩ ගොහොරු, කඳු වැටි සලකද්දි ඔහු දෙපයින් සිටගැනීමම ප්‍රමාණවත්. වැඩි වෙලා නොයිඳම පිට දීලා උන්නු ගේට්ටුව ඇරගෙන එළියට ආවෙ නෝන කෙනෙක්. අවුරුදු හතළිහකට නොවැඩි ජේත්තුකාර පෙනුමක් තිබ්බ ඈගෙන් පුටුවක් ගන්නවද කියලා අහන්නත් හිතූ පියදාස ආයෙ අදහස අතෑරියේ, කලින් කීප වතාවකම යාන්තමට තාප්පෙට හේත්තුවෙලා මහන්සි අරින්න ගිහින් ඒ ගෙවල්වලින් මදි නොකියා බැණුම් අහපු අවස්ථා කිහිපයක්ම මතක් වෙලා. පෙනුම බලලා අදහස තව ටිකක් සනාථ කරගත්ත ඔහු, දෝස්මුරයක් අහන්න කලියෙන්ම අතේ පයේ වීරිය කැටිකරන් නැගිටින්න හැදුවෙ හාන්සි පුටු ටික කරට අරන් පාරේ ඉතිරි ගෙවල්වලටත් යන්න හිතාගෙනයි.

“අපිට හාන්සි පුටු නම් වුවමනා වෙන එකක් නෑ, ඔතන පාරෙ මහන්සි අරින්න බෑ නෙ. ඕනෙ නම් මිදුලෙ ටිකක් වෙලා ඉඳලා මහන්සි ඇරලා යන්න.”

පියදාස දෙස බලාගෙනම වචන කරපු නෝනා ගේට්ටුවත් ඇරගෙනම ගෙට ගියා. ලැබුණු අස්වැසිල්ලට හිතින් පින් දීපු එක පියදාස හිතුවෙ ගිලෙන්න පණ අදින දිවත් එක්ක මිදුලෙ තියෙන ටැප් එහෙකින් වතුර ටිකක් බීලා නැවත ගමන් අරඹන්න. මිදුලෙ හාන්සි පුටු දෙකත් අටවගෙන ඩිංගකට ඒකෙ වතට බර වුණා විතරයි නෝනා තව බේබිලා දෙන්නෙක් එක්ක ආවෙ පොඩි බීම වීදුරුවක් එක්ක බිස්කට් කිහිපෙකුත් තසිමක තියාගෙන.

“පින්සිද්ධ වෙනවා නෝනා” පියදාස කිවුවා නෙවෙයි කියවුණා.

ඒකත් ඒ හාන්සි පුටුව උඩින්ම තිබ්බ නෝනාල නැවතත් ගේ ඇතුළටම යද්දි බීම එක තොලගාන ගමන් පියදාස කළේ වටපිට බලපු එකයි.

මහල් තුනක නි‍ෙවසක් වුණු එය, හොඳින් නඩත්තු කරන බව පෙනුණ ගෙවත්තකින් ද යුතු වුණා. ආලින්දයේ පෝටිකෝව යට එවෙලෙත් අලු‍ත්ම මැති ඇමැතිවරු පදින ආකාරයේ වාහන දෙකක් නවත්වා තිබුණා. මේ සියල්ලම නිවැසියන්ගේ ආඪ්‍ය වූ ජීවිතය පියදාසට කියා පෑවත් ඔහුගේ දෑස නැවතුණේ හොඳින් මැදල එළිය වැටෙන්නට මිදුලේ කොනක් තබා ඇතැයි සිතිය හැකි වූ බබළන කුඩා පිත්තල පිළිමයකට. චංචල වූ සිතත් එක්ක පිළිමය ඇහැ ගැටුණු සැණින් පියදාසගෙ ඇහැ ගියේ දොර දිහාවට. සිතින්ම කල විනිශ්චයට ඔහුට හිතුණා පිළිමෙ අඩුගාණෙ දෙදහකට වැඩි මිසක් අඩු නැති බව. පිළිමෙන් විතැන් වෙච්ච හිත, මාලිගාවක් වගේ තමන් ඉස්සරහා වැජඹෙන ගේ දිහාටත් තමන් හාල්පහේ ටික අරන් ගෙදරට එනකන් බලාගෙන ඉන්න ඒ අහිංසක මුහුණු දිහාටත්, එක පුටුවක් වත්ම විකුණගන්න බැරුව ගෙදර ගියපු පහුගිය දවස් දිහාටත්, චිත්තවීදී ඔස්සෙ අනවරත ගමනක යෙදුණු පියදාස ක්ෂණික තීරණයකට අනුව ඇදුණෙ පිළිමෙ දිහාවට. එවෙලෙ තමයි අහම්බෙන් පියදාසට අතේ රැඳුණ බීම වීදුරුව ඇහැ ගැටුණේ. පියදාසගෙ හිත කලකිරීමකින් වෙළා ගන්න ගතවුණේ ඇසිල්ලයි.

ගේට්ටුව අයිනෙ හති අරිනවා දැකපු පළියට ජීවිතේට දැකපුවත් නැති දාඩිය පෙරාගෙන උන්නු නාන්නාඳුනන මනුස්සයෙක්, ගෙදරට අරන් සංග්‍රහ කරපු ඔවුන්ට, තමන් මොන තත්ත්වයක් මත හෝ කරන්න හදපු වංචාව ගැන පියදාසට හදවතින්ම ලැජ්ජ හිතුණා. ඒ පශ්චාත්තාපී හැඟු‍මත් එක්කම බිස්කට් තසිම සහ වීදුරුව ඉස්තෝප්පු කන්ඩිය උඩ තබපු පියදාස, නොකියම යන්න කියලා නැගිට්ටෙ කරදර කරන්න තිබ්බ අකමැත්ත නිසා වගේම, කරන්න ගියපු වංචාවත් එක්ක ඒ නෝනලට මුහුණ දෙන්න වීර්යයක් නොවුණු නිසා.

නමුත් එවෙලෙම ගේ ඇතුළෙ මෑත් වෙච්ච නෝනාල බේබිලා දෙන්න එක්ක ආවෙ තුන් දෙනාම බරට බරේ මලු‍ කිහිපයක මොනවදෝ උස්සගෙන.

“මේ දවස්වල පුටු විකිණෙයි කියලා නම් මට හිතන්න අමාරුයි. මේ ටික තියාගන්නකො.”

කියපු ඈ බඩු ටික දුන්නෙ දෑතටමයි. පුරවලා තිබ්බ ලොකු සිලිසිලි මලු‍ තුනක් ඇතුළෙ පියදාසට පේනවා පිටි කිරි, පරිප්පු, තේකොල, පොල් මෙකී නොකී හැම දේම. විදුලියක් වගේ රිදවිල්ලක් පපුව හරහා යද්දි කියන්න වචන එකතු නොවෙන තැන, පියදාසට පුළුවන් වුණේ දෑත් එකතු කරන්න විතරයි.

තෙමුන දැසින්ම ගේට්ටුව දෙසට පා තබපු පියදාස ආපහු හැරුණෙ, ලැබුණු බඩු මල්ලටත් වඩා බරට තිබ්බ සිතුවිල්ලකට, අමාරුවෙන් වචන එක්කාසු කරගෙන.

“වටින කියන දේවල් එළියෙ තියන්න එපා නෝනෙ, නැති හොරුත් ඇතිවෙනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT