අන්තර්ජාලයෙන් දැන්වීම් පළ කර ‘ලබු ගිරවුන්’ විකුණූ කෑගල්ල පදියදොර ප්‍රදේශයේ පුද්ගලයෙක් උපායදූතයකු යොදවා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව බුලත්කොහුපිටිය වනජීවී කාර්යාලය පවසයි.
ලබු ගිරවුන් විකිණීම, ප්‍රදර්ශනය කිරීම හා සන්තකයේ තබා ගැනීම වරදක් වන අතර වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 31 වැනි වගන්තිය යටතේ මෙසේ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව වනජීවී නිලධාරිහු පවසති.
ඉකුත්දා (28) අත්අඩංගුවට ගත් මෙම සැකකරු මාවනැල්ල උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් 20,000ක දඩයක් ද අවුරුදු 5කට අත්හිටවූ මාස 4ක සිර දඬුවමක් ද නියම කළ බව බුලත්කොහුපිටිය වනජීවී කාර්යාලයේ ස්ථාන භාර නිලධාරි ඉමේෂ් ගුණතිලක මහතා පවසයි.
මෙම වැටලීම සිදුකරනු ලැබුවේ බුලත්කොහුපිටිය වනජීවී කාර්යාලයේ ස්ථාන භාර නිලධාරි වන සත්ත්ව අඩවි සහකාර ඉමේෂ් ගුණතිලක, වන සත්ත්ව අඩවි සහකාර උදිත ජයසේන, ක්ෂේත්‍ර සහකාර නාරද කළුආරච්චි යන නිලධාරින් විසිනි.
යටියන්තොට විශේෂ
සමන් එස්. රත්නායක