Home » කෝටියක මත්කුඩු සමඟ පුද්ගලයෙක් වැල්ලම්පිටියේ දී අත්අඩංගුවට

කෝටියක මත්කුඩු සමඟ පුද්ගලයෙක් වැල්ලම්පිටියේ දී අත්අඩංගුවට

by sachintha
May 1, 2025 1:11 am 0 comment

රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

එම සැකකරු සමඟ හොරයින් මත්කුඩු ග්‍රෑම් 300ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300ක් මෙන්ම ප්‍රවාහනයට යොදා ගත් යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන ඇත.

නුගේගොඩ කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරීන් වැල්ලම්පිටිය පොලිස් වසමේ අපරාධ නිවාරණ රාජකාරී සංචාරයේ යෙදී සිටිය දී වැල්ලම්පිටිය විද්‍යාරත්න විද්‍යාලය ආසන්නයේ අතුරු මාර්ගයේ සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වන සේ පැළඳි ආරක්ෂක හිස් වැස්මකින් සැරසුණු පුද්ගලයෙක් සැකකටයුතු ලෙස හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී සැකකරු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බව පොලිසිය කියයි.

එම සැකකරු පොලිසියට රැගෙන ඒමෙන් අනතුරුව කළ ප්‍රශ්න කිරීමේදී විදේශගතව සිටින මුල්ලේරියාවේ ගිහාන් නමැත්තාට මෙම මත්ද්‍රව්‍ය අයිති බවත් ඔහු ලබාදුන් උපදෙස් මත තවත් පුද්ගලයකුට ලබාදීම සඳහා මේවා රැගෙන ආ බවත් ප්‍රකාශ කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක පුද්ගලයෙකි.

රැඳවුම් නියෝග ලබාගෙන සැකකරුගෙන් වැඩිදුරටත් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට නියමිතය. නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙනිය, සහකාර පොලිස් අධිකාරි ඒකනායක මහත්වරුන්ගේ උපදෙස් මත නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද කුලසිංහගේ ප්‍රධානත්වයෙන් උපපොලිස් පරීක්ෂක රත්නායක පොලිස් සැරයන් වරුන් වන 54478 වසන්ත 66480 ඉන්දික කොස්තාපල්වරුන් වන 103719 ගයශාන් 103835 නානයක්කාර, 3815 කුමාර, 28007 මෛත්‍රී මහත්වරුන් පරීක්ෂණ පවත්වති.

නුගේගොඩ සමූහ – සමීර අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT