2025 ලෝක මිහිකත දිනය නිමිත්තෙන් Clean Sri Lanka වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා හදබිම අධිකාරිය විසින් ශ්‍රී ලංකාවේ ජලමූලාශ්ර ඒ ආශ්රිත පරිසර පද්ධති හා පාරිසරික වශයෙන් වැදගත් ස්ථාන සංරක්ෂණය කිරීමේ විශේෂ වැඩසටහන් මාලාවක් පසුගියදා ක්‍රියාත්මක කෙරිණි.
කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මෙම වැඩසටහන් මාලාව රට පුරා විවිධ ප්‍රදේශ ආවරණය කරමින් ක්‍රියාත්මක කළ අතර, එහි ප්‍රධාන අරමුණ වූයේ පරිසර පවිත්‍රතාව සහ ජල සම්පත්වල තිරසර පැවැත්ම තහවුරු කිරීමයි. මෙම වැඩසටහන් මාලාවේ ප්‍රධාන සැමරුම් වැඩසටහන මහනුවර දිස්ත්‍රික්කයේ, උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගලත ග්‍රාම නිලධාරි වසමේ, මොරගොල්ල ප්‍රදේශයේ මහවැලි ගඟ ආශ්‍රිතව ඉතා සාර්ථක ලෙස පවත්වන ලදි.
මෙම ශ්‍රමදාන වැඩසටහන සඳහා රාජ්‍ය නිලධාරීන්, විශ්වවිද්‍යාල සිසුන්, ප්‍රදේශයේ ගොවි ප්‍රජාව සහ හදබිම අධිකාරියේ කාර්ය මණ්ඩලය ඇතුළුව සියයකට අධික පිරිසක් සහභාගි වූහ. වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ අවිධිමත් ලෙස බැහැර කර තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමයි. ඒ අනුව, පොලිතීන්, ප්ලාස්ටික්, වීදුරු බෝතල් වැනි නොදිරන කැළිකසළ කිලෝග්‍රෑම් 600කට අධික ප්‍රමාණයක් එක් රැස් කර, වර්ගීකරණය කොට උඩපළාත ප්‍රාදේශීය සභාවේ අනුග්‍රහය ඇතිව විධිමත් ලෙස එම ස්ථානයෙන් බැහැර කිරීමට කටයුතු යොදන ලදි. මීට අමතරව, අවිධිමත් ලෙස කසළ බැහැර කිරීමෙන් වළකින ලෙස ජනතාව දැනුම්වත් කිරීම සඳහා විශේෂ දැන්වීම් පුවරුවක් සවි කළ අතර, වර්ග කළ කසළ නිසි ලෙස බැහැර කිරීම සඳහා කසළ බඳුන් ද ස්ථානගත කෙරිණි.
මෙම ප්‍රධාන වැඩසටහනට සමගාමීව, ඇකිරියන්කුඹුර ග්‍රාම නිලධාරි වසමේ උල්පත ජලමූලාශ්රය ආශ්‍රිතව පවිත්‍රතා සහ රුක්රෝපණ වැඩසටහනක් ද, කසළ තැන තැන දැමීම වැළැක්වීමට දැන්වීම් පුවරුවක් සහ කසළ බඳුන් ස්ථාපිත කිරීමක් ද, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඬුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හල්පාවල ග්‍රාම නිලධාරි වසමේ හන්දූරුකන්ද සහ මඩොල්විටිය රක්ෂිත ආශ්‍රිතව රුක්රෝපණ වැඩසටහනක් ද, කූරදෙණිය ග්‍රාම නිලධාරි වසමේ කූරදෙණිය කුඹුරු යායේ වාරි ඇළ මාර්ගය සංඝරත්නයේ ආශීර්වාදයෙන් ශුද්ධ පවිත්‍ර කර ප්‍රතිසංස්කරණය කිරීමක් ද, මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මඩදෙණිය වසමේ ÒබුබුළÓ පිහිල්ල අවට පවිත්‍ර කිරීමේ වැඩසටහනක් ද, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොත්තැල්ලෙන ග්‍රාම නිලධාරි වසමේ ලක්ෂපාන දියඇල්ලට පිවිසෙන මාර්ගය දෙපස පිරිසුදු කර ජලකාමී පැළ රෝපණය කිරීමක් ද සිදු කෙරිණි.
ශ්‍රී ලංකා හදබිම අධිකාරිය විසින් ලෝක මිහිකත දිනය නිමිත්තෙන් ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන් මාලාව, පරිසර සංරක්ෂණය සහ ජලමූලාශ්ර සුරැකීමේ වැදගත්කම පිළිබඳ ප්‍රායෝගික දැනුම්වත් කිරීමක් ලබා දුන් අතර, ප්‍රජා සහභාගිත්වය තුළින් තිරසර පාරිසරික කළමනාකරණයකට මඟපෙන්වීමක් විය. මෙමඟින් අපද්‍රව්‍ය කළමනාකරණය, ජලමූලාශ්ර ආරක්ෂා කිරීම සහ හරිත ආවරණය වැඩිදියුණු කිරීම සඳහා වැදගත් දායකත්වයක් ලබාදී ඇත.
මේ වැඩසටහනේ සමාරම්භක වැඩසටහනට හදබිම අධිකාරියේ නියෝජ්‍ය අධ්යක්ෂ (සංවර්ධන), සහකාර අධ්යක්ෂ (කෘෂිකර්ම), කලාප කළමනාකරුවන්, ඒකක කළමනාකරුවන් ඇතුළු අනෙකුත් නිලධාරීන්, උඩපළාත සහකාර ප්‍රාදේශීය ලේකම්, මහවැලි අධිකාරියේ සහකාර අධ්යක්ෂ (වන හා පරිසර), පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන්, ප්‍රාදේශීය ගොවි සංවිධාන නියෝජිතයන් හදබිම අධිකාරියේ කාර්යමණ්ඩලය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
බුද්ධිකා ඉඹුලාන