Home » කැනඩාවේ කාබනික ආහාර ප්‍රදර්ශනයට ශ්‍රී ලාංකිකයෝත් එක්වෙති

කැනඩාවේ කාබනික ආහාර ප්‍රදර්ශනයට ශ්‍රී ලාංකිකයෝත් එක්වෙති

by sachintha
May 1, 2025 1:19 am 0 comment

කැනඩාවේ ටොරොන්ටෝහි පැවැත්වෙන කාබනික ආහාර සහ පාන වර්ග පිළිබඳ ඉහළපෙළේ වෙ‍ෙළඳ ප්‍රදර්ශනය – SIAL 2025 සඳහා ශ්‍රී ලාංකේය අපනයනකරුවෝ ද සහභාගි වූහ.

එම ප්‍රදර්ශනය පෙරේදා (29) ආරම්භවුණු අතර අද (01) අවසන් වීමට නියමිතය. කලාපයේ ප්‍රමුඛතම උතුරු අමෙරිකානු වෙ‍ෙළඳ ප්‍රදර්ශනයක් වන SIAL 2025 සඳහා සහභාගි වීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ සංචාරක වෙ‍ෙළඳ දූත පිරිස පිළිගැනීමට ටොරොන්ටෝහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය හා කැනඩාවේ ශ්‍රී ලංකා ව්‍යාපාරික සමුළුව සුහද පිළිගැනීමේ උත්සවයක් සංවිධාන කර තිබෙන බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙම වෙ‍ෙළඳ ප්‍රදර්ශනය, කාබනික ආහාර සහ පාන අංශයේ ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට කැනඩාවේ සහ ලොව පුරා කාබනික ආහාර සහ පාන වර්ග නිෂ්පාදනය කරන ප්‍රමුඛපෙළේ ව්‍යාපාරික සමාගම් සමඟ ව්‍යාපාරික හවුල්කාරීත්වයන් ඇතිකර ගැනීමට කදිම අවස්ථාවක් වෙයි. පිළිගැනීමේ උත්සවයේදී නියෝජිත පිරිස කැනඩා – ශ්‍රී ලංකා ව්‍යාපාරික සම්මේලනයේ සාමාජිකයන් මෙන්ම මාධ්‍ය සමාගම් සහ ප්‍රමුඛ නීතිඥවරුන් හමුවී ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමේ සහ කැනඩාවේ ඔවුන්ගේ ව්‍යාපාරය ස්ථාපිත කිරීමේදී අවශ්‍ය නීතිමය උපදේශන ලබාගැනීමේ අරමුණින් කටයුතු කර ඇත.

කැනේඩියානු වෙ‍ෙළඳපොළේ ශ්‍රී ලාංකේය කාබනික ආහාර සහ පාන වර්ග අපනයනකරුවන්ට ඇති අවස්ථා පිළිබඳ නියෝජිත පිරිස දැනුම්වත් කරන ලෙස කොන්සල් ජනරාල්වරයා කැනඩාවේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි සංගමයේ සභාපතිවරයාට ආරාධනා කර තිබේ. කැනඩාවේ සමස්ත ව්‍යාපාරික වාතාවරණය පිළිබඳ නියෝජිත පිරිසට සිය ඉදිරිපත් කිරීම තුළින් ඒ මහතා පැහැදිලි කර තිබෙන අතර, කාබනික ආහාර සහ පානවර්ග අංශයේ ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ගේ අවස්ථා, අභියෝග සහ වෙ‍ෙළඳපොළ ප්‍රවේශ විධිවිධාන පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ලබා දී ඇත.

ඊට අමතරව අවශ්‍ය තොරතුරු ලබාගැනීම සඳහා නියෝජිත පිරිස වෙනුවෙන් ප්‍රශ්නෝත්තර සැසියක් ද පවත්වා තිබේ. එම නියෝජිත පිරිස අමතමින් ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් තුෂාර රොද්‍රිගෝ මහතා ප්‍රකාශ කර ඇත්තේ ජන විකාශනය, පාරිභෝගිකයන්ගේ ඉහළ මිල දී ගැනීමේ හැකියාව, කැනඩාවේ ආන්ත්‍රික කාලගුණික තත්ත්වයන්, වෙනස් වන ගෝලීය වෙ‍ෙළඳපොළ ප්‍රවණතා සහ කාබනික ආහාර කෙරෙහි පාරිභෝගිකයන්ගේ හැසිරීම, සැපයුම්දාමවල වෙනස්වන ස්වභාවය හා තීරුබදු, ජනවාර්ගික සහ ප්‍රධාන ධාරාවේ වෙ‍ෙළඳපොළ දෙකෙහිම, කැනේඩියානු කාබනික ආහාර සහ පාන අංශයේ ශ්‍රී ලාංකේය නිවර්තන ආහාර සහ පාන නිෂ්පාදන සඳහා විශාල විභවයන් විවෘත කර ඇති බවයි.

විභව ශ්‍රී ලාංකේය අපනයනකරුවන් ගෝලීය ව්‍යාපාරික හවුල්කරුවන් සමඟ සම්බන්ධ කර වෙ‍ෙළඳ ප්‍රදර්ශනයට සහභාගි වීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය දරන උත්සාහය හෙතෙම අගය කර තිබේ.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT