නිරායුධකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නිලධාරීන් දැනුම්වත් කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව විදේශ සේවා නිලධාරීන් දැනුම්වත් කිරීමේ දෙදින සම්මන්ත්‍රණය විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැති අතර විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ නිරායුධකරණ පර්යේෂණ ආයතනය (UNIDIR) ඒකාබද්ධව එය සංවිධාන කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
කොළඹ සිට නිලධාරීන් 40කට අධික පිරිසක් මෙම වැඩමුළුවට සහභාගී වී තිබෙන අතර විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට අනුයුක්ත නිලධාරීන් 60කට අධික පිරිසක් මාර්ගගතව සම්බන්ධ වී තිබේ.
එක්සත් ජාතීන්ගේ නිරායුධකරණ පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය රොබින් ගයිස්, ආරක්ෂක හා තාක්ෂණ වැඩසටහනේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක ආචාර්ය ඩොන්ග්යුන් චෝ සහ දේශපාලන කටයුතු සහකාර ෆැනී සෙබාන් මහත්ම මහත්මීන් සම්පත්දායකයින් ලෙස සම්මන්ත්‍රණයට එක්ව ඇත. ගෝලීය නිරායුධකරණ භූ දර්ශනය සහ ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාවට වන තර්ජන ආදිය පිළිබඳ ඔවුන් තම විශේෂඥතාව සහ ඉදිරි දර්ශන පිළිබඳ කරුණු දක්වා තිබේ.
එක්සත් ජාතීන්ගේ නිරායුධකරණ පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය රොබින් ගයිස් සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහත්වරු අතර හමුවක් ද පවත්වා තිබෙන අතර එහිදී අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ නිරායුධකරණ පර්යේෂණ ආයතනය අතර සමීප සහයෝගිතාව පිළිබඳ සාකච්ඡා කර ඇත.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ මානව සම්පත් සංවර්ධන, පර්යේෂණ සහ පුහුණු අංශය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් අංශය විසින් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය විසින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබේ.
මහින්ද අලුත්ගෙදර