ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ තෝරාගත් ඩිපෝ 25ක් සංවර්ධනය කර ජාතික තලයේ ආදර්ශ ඩිපෝ බවට පත්කිරීමට රජය ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.
මෙම ඩිපෝ සංවර්ධනය කර මගී ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීම හා ඉහළ ආදායමක් ඉපැයීම මඟින් ස්වයං මූල්‍යනය සහිත ලාභදායී ආයතන බවට පත්කිරීම ව්‍යාපෘතියේ අරමුණ බව කර්මාන්තය හා බැඳි අතිරේක සේවා නිර්මාණය කිරීම සඳහා ව්‍යාපෘති මාදිලි සැකසීමේ පාර්ලිමේන්තු අනුකාරක සභාවේ සභාපති වශයෙන් නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (SLTB) අයත් පාණදුර ඩිපෝවේ නිරීක්ෂණ චාරිකාවකට පෙරේදා (29) එක්වෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මාධ්‍ය අමතා එසේ සඳහන් කළේය.
එහිදී නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා මෙසේද සඳහන් කළේය.
“රජය පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය විශාල බරක් ලෙස ඇතැමුන් සලකනවා. එය රටේ ආර්ථික සංවර්ධනයට ප්‍රධානම අඩිතාලමයි.
දැනට රාජ්‍ය අංශයේ පවත්වාගෙන යන ප්‍රධාන සේවා වන දුම්රිය සේවා සහ බස්රථ සේවාව කාලයක් තිස්සේ තිබූ පාලන තන්ත්‍රවල දුර්වලතා නිසා අභාවයට ගොස් තිබෙනවා.
මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ වන්නේ ඩිපෝව හරහා සිදුවන ක්‍රියාවලිය, එහි ආදායම් වැඩිකිරීම, වියදම් කළමනාකරණය සහ වෙනත් ආදායම් උත්පාදනය කර ගැනීමට ඇති අවස්ථා සොයා බලා, ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීමයි.
ඌන උපයෝජිත බස් රථ නැවත ධාවනය, මාර්ග හා වාර ප්‍රශස්තකරණය (Optimize) කිරීම, තෙල් භාවිතාව කාර්යක්ෂම කිරීම, සේවක සුබසාධනය හා යටිතල පහසුකම් ශක්තිමත් කිරීම, සේවක කාර්යක්ෂමතාව හා උපරිම ඵලදායිතාව, ඩිපෝවේ අතිරික්ත ඉඩ වෙනත් ආර්ථික කටයුතුවලට යෙදවීම, අමතර කොටස් (Spare Parts) හා ටයර් වියදම් පිළිබඳ දත්ත විශ්ලේෂණය කර වියදම් කළමනාකරණය, වැනි කාරණාවලට වැඩි අවධානය යොමුවිය විය යුතු බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා පාණදුර බස් ඩිපෝව ක්‍රමානුකූලව සංවර්ධිත ඩිපෝවක් ලෙස පරිවර්තනය කරමින් සමාජයීය ප්‍රවාහන අවශ්‍යතාවයේ සාධනීය කොටස්කරුවන් බවට පත්කිරීම මෙම ව්‍යාපෘතිය මඟින් සිදුකෙරෙනවා.”
නෙරංජලා වික්‍රමසිංහ