Home » පිම්මේ ගිය බස් රිය කුරුණෑගලදී යතුරුපැදියේ හැපී එකම පවුලේ දරුවන් දෙදෙනකුට දිවි අහිමි කරයි

පිම්මේ ගිය බස් රිය කුරුණෑගලදී යතුරුපැදියේ හැපී එකම පවුලේ දරුවන් දෙදෙනකුට දිවි අහිමි කරයි

-මවත් දැඩි සත්කාර ඒකකයේ

by sachintha
May 1, 2025 1:35 am 0 comment

නොසැලකිලිමත් රිය ධාවනයෙන් පසුගිය කාලය පුරාම සිදුවූ රිය අනතුරු සංඛ්‍යාව විශාලය. ඒ නිසාම අහිමි වුණු ජීවිත සංඛ්‍යාව හා තුවාල වී සදාකාලික ආබාධිත වූ පිරිස අතිමහත්ය. ඒ සියල්ලම එසේ තිබියදී රියැදුරකු තම නොසැලකිලිමත් ලෙස රිය ධාවනය හේතුවෙන් පසුගියදා මල් වැනි පුතුන් දෙදෙනකුට දිවි අහිමි කළේ ඔවුන් සමඟ ගිය මව ද රෝහලේ දැඩි සත්කාර ඒකකයට යවමිනි.

මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි මෙවර ශිෂ්‍යත්වයට පෙනී සිටීමට නියමිතව සිටි 10 හැවිරිදි ජනිදු සී. දෙව්මිණ රත්නායක හා ඔහුගේ වැඩිමල් සොහොයුරා වන ලෙක්ෂීකන් ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය හදාමින් සිටි මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළට පෙනී සිටීමට නියමිතව සිටි 16 හැවිරිදි තරුෂ ධනංජන නිරුෂාන් රත්නායක නමැති දරුවන් දෙදෙනාය.

ඇතුගල අබියස සිදුවූ මේ හද කම්පා කරවන මාරක අනතුරින් ඇතුගල පර්වතය පවා හඬා වැටෙන්න වූයේ මල් වැනි දරුවන් දෙදෙනකු අවාසනාවන්ත ලෙස මරණයට පත්වූයේ මොන වරදක් කළාටදැයි ප්‍රශ්න කරමිනි. දරුවන්ගේ පියා විදේශගතව රැකියාවක නිරත වන අතර, ඔවුන් වාරියපොළ අවුලේගම ගල්වලාගාරය ගම්මානයේ පදිංචිව සිටි බව කියයි.

මේ දරුවන් මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ තම මව සමඟ යතුරුපැදියකින් වාරියපොළ අවුලේගම සිට නුවර පිළිමතලාව බලා 28 වැනිදා අලුයම ගමන් කරමින් සිටියදී බව කියයි. මේ දරුවන්ගේ මව පුතුන් දෙදෙනා නංවාගෙන කුරුණෑගල නගරය ස්වයංක්‍රිය මාර්ග ආලෝක සංඥා පද්ධතිය මැදින් ගමන් කරමින් සිටියදී නොසිතූ ලෙස අධික වේගයෙන් පැමිණි මගී ප්‍රවාහන බස් රථයක යතුරුපැදිය ගැටී දරු දෙදෙනා හා මව බරපතළ තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණි.

නමුත් ඒ වන විටත් අසාධ්‍ය තත්ත්වයේ සිටි මේ දරුවන් දෙදෙනා මරණයට පත්වූයේ ඥාති ඇතුළු සියලු දෙනා මහත් කම්පාවට පත් කරමිනි.

මෙසේ මරණයට පත්වූ දරුවන් අතරින් වැඩිමහල් දරුවා වන තරුෂ ධනංජන පුතු ඔහු අධ්‍යාපනය හැදෑරූ පාසලේ කීර්තිමත් දරුවකු විය. පාසලේ විවිධ ක්‍රියාකාරකම් සඳහා විශේෂ දස්කම් දැක්වූ තරුෂ මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව තිබුණි.

ඒ සමඟ පුංචි පුතු වන ජනිඳු ධනංජන කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයේ විවිධ දක්ෂතා දක්වමින් කැපී පෙනෙන සිසුවකු විය. කා අතරත් සිත් ගත් පුංචි ජනිඳු ගුරුවරුන් අතරද ආදරයට පාත්‍ර වී තිබුණි. ජනිඳු මෙවර පහේ ශිෂ්‍යත්වය විභාගයට පෙනී සිටීමට නියමිතව තිබුණි.

පියා විදේශගතව රැකියාවක නිරත වීම හේතුවෙන් දරුවන්ගේ කටයුතු මවට භාර දී තිබූ බව කියයි.

ඥාතීන් පවසන්නේ දරුවන්ගේ මව විසින් අලුයම දරුවන් අවදි කරමින් දළදා වැඳ පුදා ගැනීමට මෙලෙස යතුරුපැදියෙන් ගමන් කර ඇති බවයි.

අලුයම 4.00ට පමණ නිවසින් තම දරුවන් රැගෙන යෑමට සැරසෙන විටත් වැඩිමල් පුතු තරුෂ යතුරුපැදියෙන් ගමන් කිරීමට දැඩි අකමැත්තක් පවා දක්වා ඇති නමුත් මව එයට උරණ වී දරුවා බලෙන්ම සූදානම් කරමින් මේ ගමන ගොස් ඇති බව ද පැවසෙයි.

කෙසේ නමුත් කුරුණෑගල නගරය මැදින් ගමන් කරන විට අලුයම් කාලයේ මාර්ග ආලෝක සංඥා පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක වීමක් සිදුව නොතිබූ බව ද පැවසෙයි.

ඒ නිසාම යතුරුපැදියේ ගමන් ගත් මව මාර්ගය පැහැදිලි වීම නිසා වාරියපොළ සිට පැමිණි වේගයෙන්ම නුවර දෙසට ඔරලෝසු කණුව අසලින් ගමන් කරමින් සිටියදී නොසිතූ ලෙස අධික වේගයෙන් දඹුල්ලේ සිට පැමිණි මගී ප්‍රවාහන බස් රථය මේ දරුවන් ගමන් ගත් යතුරුපැදියේ ගැටී ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

මේ අනතුර බස් රථ රියැදුරා නොසැලකිළිමත් ලෙස රිය ධාවනය කිරීම හේතුවෙන් සිදුවූ බවට චෝදනා එල්ල වෙයි.

සියල්ල අවසානයේ ලොවක් ජය ගැනීමට සිටි මල් වැනි දරුවන් දෙදෙනකුගේ දිවි අහිමි කර තිබුණේ යතුරුපැදිය පැදවූ ඔවුන්ගේ මවද දැඩි ලෙස අසාධ්‍ය මට්ටමට පත් කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරමිනි.

අනතුරින් පසු විදෙස්ගතව සිටි පියා නැවත නිවසට පැමිණෙන විට වෙනදා සිනාසී ඔහු එන මඟ සරසන පුතුන් දෙදෙනා නිසලව නිවසේ සාලය මැද සිටිනු දැක මහත් වේදනාවටත් කම්පාවටත් පත්ව හඬා වැටුණේ කුමන වරදක් නිසා තම අහිංසක දරුවන් දෙදෙනා මෙලෙස අහිමි කළා දැයි අසමිනි.

අනතුර සම්බන්ධයෙන් කුරුණෑගල මූලස්ථාන පොලීසියේ රථවාහන අංශය මඟින් අත්අඩංගුවට ගත් සැකකාර බසයේ රියැදුරු කුරුණෑගල වැඩ බලන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.

සටහන ඡායාරූප – පුත්තලම අතිරේක

හිරාන් ප්‍රියංකර ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT