Home » තෙල් මිල බස්සයි

තෙල් මිල බස්සයි

by sachintha
May 1, 2025 1:57 am 0 comment

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඊයේ(30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි සියලුම ඉන්ධන වර්ගවල මිල පහත දමා තිබේ.

ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ද ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින්ද පහළ දමා ඇත.

මේ හැරුණු කොට ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 12කින්ද, ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6කින්ද පහත දමා තිබේ.

ලංකා භූමිතෙල් මිල ද මෙම මිල සංශෝධනයට අනුව රුපියල් 05කින් අඩුකර ඇත.

ඒ අනුව රුපියල් 361ක්ව පැවැති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 341 කි.

මෙතෙක් රුපියල් 299ක් වූ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 293කි.

රුපියල් 286ක්ව පැවැති ලංකා සුදු ඩීසල් ලීටරයක මිල නව සංශෝධනයත් සමඟ රුපියල් 274ක් දක්වා අඩුවී තිබේ.

රුපියල් 331ක්ව පැවැති ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල 325කි.

මිල සංශෝධනයෙන් පසු ලංකා භූමිතෙල් මිල රුපියල්178කි. මෙතෙක් භූමිතෙල් ලීටරයක මිල පැවැතියේ රුපියල් 183ක් ලෙසිනි.

ලංකා අයි.ඕ.සී. සමාගම ද මෙම මිල සංශෝධනයට සමගාමීව සිය සමාගම මගින් බෙදාහරින ඉන්ධන මිල ද අඩු කිරීමට කටයුතු කරන බව නිවේදනය කර තිබිනි.

මාර්තු 31 වැනි දින කළ මිල සංශෝධනයේදී පෙට්ට්‍රල් 92 ඔක්ටේන් රුපියල් 10කින් ඔක්ටේන් 95 රුපියල් 10කින් අඩු කළ අතර සෙසු ඉන්ධන වෙනස් කිරීමක් සිදු නොකෙරිණි.

පෙබරවාරි 28 වැනිදා ඉන්ධනවල කිසිඳු මිල සංශෝධනයක් සිදු නොකිරිණි.

නුවන් කොඩිකාර/රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT