Home » ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ හදන්න වැඩ කරන ජනතාවට ආරාධනා

‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ හදන්න වැඩ කරන ජනතාවට ආරාධනා

- ජනපති අනුර කුමාර දිසානායක

by sachintha
May 1, 2025 1:31 am 0 comment

දූෂිත ප්‍රභූ දේශපාලනය බිඳහෙළූ මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කර “පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක්” නිර්මාණය කිරීමට සහෝදරත්වයෙන් එක්ව පොරබැදීමට මෙරට ආදරණීය වැඩ කරන ජනතාවට ආරාධනා කරන බව ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියි.

එහි වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.

1886 වසරේ මැයි මස 01 වැනි දින අමෙරිකාවේ චිකාගෝ නුවර හේමාකට් චතුරශ්‍රයේදී, පැය 08ක සේවාමුරයක් ඉල්ලා විරෝධතාවක නිරත වෙමින් සිටියදී එල්ල වූ මර්දනීය වෙඩි ප්‍රහාරයෙන් රුධිරය වැගිරූ කම්කරුවන් සදාතනිකව සිහි කිරීමට 1889 වසරේ රැස් වූ දෙවන කොමියුනිස්ට් ජාත්‍යන්තරය තීරණය කළ අතර, එතැන් පටන් සෑම වසරකම මැයි පළමු වැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.

ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනයා ප්‍රමුඛ පොදු ජනතාව මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය සමරන්නේ මෙරට දූෂිත, ප්‍රභූ දේශපාලනය අවසන් කර ජනතාවාදී පාලනයක් තුළ රටත්, සමාජයත් ගැඹුරු සාධනීය පරිවර්තනයකට ලක් කරමින් තිබෙන අවස්ථාවකය. පවුල් සහ පරම්පරා කිහිපයක් 76 වසරක් පුරා තට්ටු මාරු ක්‍රමයට ගෙනගිය දූෂිත පාලනය නිමා කර මෙරට දේශපාලනයේ සුවිශේෂ හැරවුමක් සනිටුහන් කිරීමට ඉකුත් ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී ජාති, ආගම් භේදයකින් තොරව මෙරට සිවු දෙස ජනතාව විසින් කටයුතු කරනු ලැබිණි. එකී ජනවරමේ අපේක්ෂා සාක්ෂාත් කරමින් මේ වන විට රට ආර්ථික, සාමාජයීය සහ දේශපාලන වශයෙන් පුළුල් පරිවර්තනයකට ලක් කිරීමට ජාතික ජන බලවේගයේ අපි කටයුතු කරමින් සිටින්නෙමු.

දූෂිත, ප්‍රභූ දේශපාලන ක්‍රමය තුළ පතුලටම ඇද දමා තිබූ මෙරට ආර්ථිකය යළි ඉහළට ඔසවමින් ස්ථාවර ආරම්භයක් ලබා ගැනීමට මේ වන විට අපි සමත් වී සිටිමු. එහි පැහැදිලි සංඥාවන් දැනටමත් සියලු දෙනාට පෙනෙන්නට තිබේ. රජයේ පළමු අය-වැයේදීම ඉතිහාසයේ කිසිදා නොවූ අයුරින් රාජ්‍ය සේවකයන්ගේ අවම වැටුප සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ නැංවීම ඇතුළු ගොවිජනතාව, ධීවර ජනතාව, තරුණයන්, කාන්තාවන්, සිසුන් පමණක් නොව නිෂ්පාදකයන්, සුළු පරිමාණ ව්‍යාපාරිකයන්, විවිධ වෘත්තීන්හි නිරත වන්නන් ආදී සමාජයේ සියලු දෙනා වෙනුවෙන් ප්‍රතිලාභ දීමට අපි කටයුතු කර ඇත්තෙමු. එසේම වතුකරයේ කම්කරු ජනතාව මුහුණදෙන ගැටලු විසඳීමට හා ඔවුන්ගේ පුරවැසි අයිතිවාසිකම් තහවුරු කිරීමට ද අපි කටයුතු කරමින් සිටිමු.

දිනෙන් දින අලුත් වන නිෂ්පාදන බලවේගවලට සමගාමීව අප භුක්ති විඳින අයිතිවාසිකම්හි නව පරිච්ඡේදයක අවශ්‍යතාව අපි දකිමු. 1948 මානව හිමිකම් න්‍යායපත්‍රයේ නොතිබූ, ඩිජිටල් ප්‍රවේශ අයිතිවාසිකම්, පාරිසරික අයිතිවාසිකම් ආදිය ද ඇතුළත්ව වෙනස් වන දේශපාලන පද්ධතීන්හි මතුවීම සහ ලෝක සාමය තහවුරු කරමින්, නව සංවර්ධන අවශ්‍යතා මත පදනම්ව මානව හිමිකම් පිළිබඳ යාවත්කාලීන වූ විශ්ව ප්‍රකාශනයක අවශ්‍යතාව වත්මන් සමාජය ඉල්ලා සිටියි. ඒ පිළිබඳ සංවේදී වීම සහ මැදිහත්වීමේ අවශ්‍යතාව ද ජාත්‍යන්තර කම්කරු දිනය සමරන මේ අවස්ථාවේ අපි යළි සිහිපත් කරමු.

ජාත්‍යන්තර භූ දේශපාලනික වෙනස්කම් සහ අභියෝග හමුවේ නොසැලෙන ආර්ථිකයක් ගොඩනැංවීම වෙනුවෙන් වෙහෙසෙන මෙරට වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කරමින් හා ප්‍රවර්ධනය කරමින් දූෂිත ප්‍රභූ දේශපාලනය බිඳහෙළූ මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කර “ලස්සන ජීවිතයක් සහ පොහොසත් රටක්” නිර්මාණය කිරීමට සහෝදරත්වයෙන් එක්ව පොරබැදීමට මෙරට ආදරණීය වැඩ කරන ජනතාවට ආරාධනා කරමින්, වැඩ කරන ජනතා අයිතීන් සුරක්ෂිත කෙරෙන අර්ථවත් වූ ජාත්‍යන්තර කම්කරු දිනයකට සුබාශිංසන එක්කරමි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT