ජනාධිපති කාර්යාලයෙන් දී ඇති වාහන තුනෙන් එක් වාහනයක් නැවත භාර දෙන ලෙස ජනාධිපති ලේකම්, ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් හිටපු ජනාධිපතිවරුන්ට ලිඛිතව දැනුම් දුන්න ද චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පමණක් මේ වන විටත් වාහනය භාර දීමට කටයුතු කර නැත.
ජනාධිපති ලේකම්වරයා මේ බව හිටපු ජනාධිපතිවරුන් වෙත දන්වා ඇත්තේ අප්‍රේල් 19 වැනිදා වන අතර එහි සඳහන් කර ඇත්තේ අප්‍රේල් 23 වැනිදාට පෙර වාහන භාර දෙන ලෙසයි.
ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා භාවිත කළ ලෑන්ඩ් කෘසර් වර්ගයේ වී8 රථය පසුගිය 28 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දී තිබේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දී තිබූ ලෙක්සස් ඩිපෙන්ඩර් රථය භාර දී ඇත්තේ 24 වැනිදාය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නිකුත් කර තිබූ ලෑන්ඩ් රෝවර් ජීප් රථය ඉකුත් 23 වැනිදා භාර දී ඇත. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා භාවිත කළ ලෑන්ඩ කෘසර් ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථය ඒ මහතා භාර දී ඇත්තේ 28 වැනිදාය. කැබිනට් ඇමැතිවරයකුට භාවිත කළ හැකි රජයේ වාහන සංඛ්‍යාවත් දෙකකට සීමා කිරීමට රජය තීරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් චක්‍රලේඛයක් ද නිකුත් කර තිබේ.
හිටපු ජනාධිපතිවරුන්ට ද කැබිනට් ඇමැතිවරයකුගේ වරප්‍රසාද පමණක් හිමි වන බැවින් මෙසේ ඔවුන් සතු වාහන තුනෙන් එකක් නැවත කැඳවීමට ජනාධිපති ලේකම්වරයා පියවර ගෙන ඇත.
මේ අනුව දැනුම් දුන් පරිදි ජනාධිපතිවරුන් පස් දෙනාගෙන් හතර දෙනකුම තමන්ට ජනාධිපති කාර්යාලයෙන් දී ඇති වාහන තුනෙන් එක් වාහනයක් බැගින් නැවත භාර දී ඇත.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පමණක් මේ වන තෙක් වාහනය භාර දී නොමැති බැවින් ඇයට නැවත සිහි කැඳවීමක් යැවීමට කටයුතු කරන බව ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසුවේය.