ජනාධිපති අරමුදලෙන් මුදල් ගැනීමේදී සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයට ලක් කෙරෙන හිටපු ඇමැතිවරුන් ඇතුළු මහජන නියෝජිතයන් 22 දෙනකු ලබා ගත් ප්‍රතිකාර පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස ඔවුන් ප්‍රතිකාර ගත් බව සඳහන් රජයේ සහ පෞද්ගලික රෝහල් රැසක අධ්‍යක්ෂවරුන්ට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙණෙවිය ඊයේ (30) නියෝගයක් නිකුත් කළාය.
මෙම මැති ඇමැතිවරු ප්‍රතිකාර ගත් රෝගවලට අදාළ සියලු වාර්තා දෙන ලෙස එම නියෝගය මඟින් මහේස්ත්‍රාත්වරිය නියම කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.
විමර්ශනයට ලක් කෙරෙන එම පිරිස විදේශ රෝහල්වල ප්‍රතිකාර ගෙන ඇත්නම් ඒ සම්බන්ධ තොරතුරු ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහාය ලබා දෙන ලෙස විදේශ කටයුතු ලේකම්වරියට ද ඊට සමගාමීව නියෝගයක් නිකුත් කළාය.
ඉකුත් 2008 වසරේ සිට 2024 දක්වා කාලය තුළ ජනාධිපති අරමුදලින් හිටපු මැති ඇමැතිවරුන් ඇතුළු මහජන නියෝජිතයන් විසි දෙදෙනකු විවිධ ප්‍රමාණයන්ගෙන් රුපියල් කෝටි 10කට වැඩි මුදලක් ගැනීම සම්බන්ධන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මෙම විමර්ශනය සිදු කරයි.
මෙම විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අවස්ථා දෙකකදීම ප්‍රකාශ ලබාගෙන තිබිණි.
සුභාෂිණී සේනානායක