Home » ඡන්ද මධ්‍යස්ථාන සකස් කිරීමේදි ග්‍රාම නිලධාරීන් අසීරුවේ වැටිලා

ඡන්ද මධ්‍යස්ථාන සකස් කිරීමේදි ග්‍රාම නිලධාරීන් අසීරුවේ වැටිලා

-සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය

by sachintha
May 1, 2025 1:16 am 0 comment

ඡන්ද මධ්‍යස්ථාන සකස් කිරීමේදී ඊට අවශ්‍ය සේවකයන් සහ පහසුකම් සපයාගැනීම ගැටලුවක් වී ඇති බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසයි.

මීට පෙර පැවති ඡන්ද විමසීමට වඩා මෙවර සේවකයකුට ලබාදිය යුතු දෛනික දීමනාව තුන්ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව එම සංගමයේ ප්‍රධාන ලේකම් එම්. කේ. ජී. ජගත් චන්ද්‍රලාල් මහතා පැවසීය.

මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රධාන ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

ඡන්ද මධ්‍යස්ථානයක් සකස්කිරීමට අවශ්‍ය පරිදි ප්‍රමාණවත් දීමනාවක් ලබාදීමට කටයුතු කළ යුතු බව ජගත් චන්ද්‍රලාල් මහතා පැවසීය.

ඡන්ද ගණන් කරන මධ්‍යස්ථාන භාරව යොදන නියෝජිතයාට හා කම්කරුවාට ගෙවන මුදල දෙගුණයක් කිරීම ඇතුළු නියමිත පහසුකම් ලබා දීමට කටයුතු කරන්නැයි ඒ මහතා ඉල්ලා සිටියේය.

මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාට ලිපියක් යොමු කරමින් මේ පිළිබඳ දැනුම්වත් කිරීමට පියවර ගත් බව ද ජගත් චන්ද්‍රාලාල් මහතා පැවසීය.

ඡන්දපොළ රාජකාරිවලට සපයන පහසුකම් ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ද සැපයීමට සිදුවීම නිසා ග්‍රාම නිලධාරීන් දැඩි අපහසුතාවකට පත්ව ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

මැයි මස 06 වැනිදාට පෙර අවශ්‍ය පහසුකම් සපයා දෙන ලෙස එම ලිපිය මඟින් ඉල්ලා සිටි බව ඒ මහතා කීවේය.

ඒ මහතා මෙසේද පැවසීය.

මෙම කාර්ය සඳහා කම්කරුවකු යොදා ගන්න කියලා තිබෙනවා. මැයි 06 වැනිදා ඡන්දය තිබෙනවා නම් මැයි 05 වැනිදා කම්කරුවා ඉන්න ඕන. ඡන්ද පොළට අවශ්‍ය ලී බඩු ගේන්න වෙන්නේ 04 වැනිදා. එතකොට කම්කරුවා 04, 05 ,06 සහ 07 වැනිදා යන දවස් 04ම ඉන්න ඕන.දවස් 04ටම කම්කරු දීමනා ලෙස ලැබෙන්නේ රුපියල් 4000යි. එම මුදලට කම්කරුවකු යොදා ගන්න බැරි තත්ත්වයක් තිබෙනවා. ඒ ගැන අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා. ජෙනරේටර් ඒකක් ගන්න කියනවා. ඊට ලබා දෙන්නේ රුපියල් 4000යි. හදිසි විදුලි බිඳ වැටීමක් සිදු වුණොත් එය ග්‍රාම නිලධාරීවරයාට පවරන්න එපා. අධ්‍යාපන අමාත්‍යාංශය මෙවර තීරණය කරලා තිබෙනවා 07 වැනිදා පාසල් පටන් ගන්න. වෙනදා ඡන්දයක් පවත්වන්නේ සෙනසුරාදා දිනයක. එහෙම වුණාම ඉරිදා දිනයේ දී ඡන්ද මධ්‍යස්ථාන යළි සකස් කරල දෙන්න පුළුවන්.

මේ ඡන්ද මධ්‍යස්ථාන බොහෝමයක් පවතින්නේ පාසල්, පන්සල් සහ ප්‍රජා ශාලාවල. ඒවට අවශ්‍ය ලී බඩු පහසුකම් සපයා ගන්න වෙන්නේ පාසල්වලින්. එම නිසා ග්‍රාම නිලධාරීන් ලෙස අපි දැඩි අපහසුතාවට පත් වෙනවා. මීට ඉක්මන් විසඳුම් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT