Home » තීරු බදු ගැටලුවේදී ශ්‍රී ලංකාවේ මැදිහත්වීම ගැන අමෙරිකාවේ ප්‍රසාදය

තීරු බදු ගැටලුවේදී ශ්‍රී ලංකාවේ මැදිහත්වීම ගැන අමෙරිකාවේ ප්‍රසාදය

-මුදල් නි. ඇමැති හර්ෂණ සූරියප්පෙරුම කියයි

by sachintha
May 1, 2025 1:20 am 0 comment

අමෙරිකානු තීරු බදු සම්බන්ධයෙන් ලක් රජය මැදිහත් වූ ආකාරය අමෙරිකාවේ පැසසුමට ලක්ව තිබෙන බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති හර්ෂණ සූරියප්පෙරුම මහතා ප්‍රකාශ කරයි.

අමෙරිකා එක්සත් ජනපද තීරු බදු සම්බන්ධයෙන් එරට නියෝජිතයන් සමඟ ශ්‍රී ලංකා රජය සිදු කළ සාකච්ඡා සාර්ථක බව ද ඒ මහතා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවට අදාළ අමෙරිකා එක්සත් ජනපදයේ නව ආනයන බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ නියෝජ්‍ය ඇමැතිවරයා,

”ඵලදායී සාකච්ඡා වට කිහිපයක අපි නිරත වුණා. ඒවා කරුණු දෙකක් මත පදනම් වුණා. අමෙරිකාවට බලපා තිබෙන වෙළෙඳ හිඟය අඩු කර ගැනීම මෙන්ම අපනයන සඳහා පනවා තිබෙන බදු අවම කර ගැනීම ඒ අතර වෙනවා. ශ්‍රී ලංකාව පසුවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් යටතේ බවට අපි ඔවුන් සමඟ ප්‍රකාශ කළා. ඒ අනුව අනෙකුත් රටවලට සාපේක්ෂව තීරණ ගැනීමේදී ශ්‍රී ලංකාවට විශේෂ අභියෝග පවතින බව අපි ඔවුන්ට පැහැදිලි කළා. ඒ වගේම අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට ගෙන්වන ඖෂධ වැනි භාණ්ඩ සඳහා ශ්‍රී ලංකාව තීරු බදු අය නොකරන බව අපි ඔවුන්ට පෙන්වා දුන්නා. එහිදී අපට අවශ්‍ය වුණේ ලෝක වෙළෙඳ සැපයුම තුළ අපි අමෙරිකාවට දී තිබෙන වටිනාකම පැහැදිලි කිරීමටයි. ඒ වගේම බලශක්ති ක්ෂේත්‍රය මෙහිදී වඩා වැදගත් ක්ෂේත්‍රයක් ලෙස හඳුනා ගත්තා. ශ්‍රී ලංකාව, ඉන්ධන වැනි දේ ආනයනය කරන රටක් බව අපි සඳහන් කළා.

ඒ අනුව එම වෙළෙඳපොළේ අමෙරිකාවට ඇති අවස්ථා අපි අමෙරිකාවට පැහැදිලි කළා. මෙම ගැටලු සම්බන්ධයෙන් ලක් රජය මැදිහත් වූ ආකාරය ඔවුන්ගේ පැසසුමට ලක්වුණා. රජයේ දූෂණ විරෝධී ප්‍රතිපත්තිය ද ඔවුන්ගේ ප්‍රශංසාවට ලක් වුණා. මීට පෙර බොහෝ සැපයුම්කරුවන් විවිධ හේතු නිසා අධෛර්යයට පත් කළ බව අපි දන්නවා. අපේ ඊළඟ පියවර වන්නේ මේ සාකච්ඡා ඉදිරියට ගෙනයෑමයි. ඒ වගේම ඉතා කෙටි කාලයකින් තවත් සාකච්ඡා වටයක් පැවැත්වීමට අපි බලාපොරොත්තු වෙනවා. අපේ අපනයනකරුවන්ට සැපයුම් කිරීමේදී පැවති තත්ත්වය තවදුරටත් රඳවා ගැනීම කියන පදනම මත සිට මේ සාකච්ඡා පැවැත්වුණා. එයින් බලාපොරොත්තු වන්නේ ඉදිරියටත් දින 90 කාලසීමාවෙන් පසුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් තරගකාරී අවස්ථාව පවත්වාගෙනයෑමයි. එයින් හොඳ ප්‍රතිචාර අපිට ලැබී තිබෙනවා”

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා,

”අමෙරිකා එක්සත් ජනපදය ඔවුන්ගේ වෙළෙඳ ප්‍රතිපත්තිය මත ලෝකයේ රටවලට තීරු බදු පනවා තිබෙනවා. ඒක මත යම් අවිනිශ්චිතතාවන් ඇතිවන්න පුළුවන්. ඒ අනුව විදේශ වෙළෙඳාමට ප්‍රශ්නයක් ඇතිවන්න පුළුවන්. ඒ අනුව අපේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ විස්තීර්ණ වැඩසටහනේ තිබෙන සමහර නිර්ණායක ප්‍රමාණාත්මක දේ තිබෙනවා. ව්‍යුහාත්මක ඒවාට මේවායින් බලපෑමක් සිදුවන්නේ නැහැ.

ඒක තමයි ව්‍යුහාත්මක මිනුම් ලකුණ. අපි ඒකට එකඟ වෙලා තිබෙන්නේ. ඒකට සූත්‍රයක් සකස් කර තිබෙනවා. එවිට කාර්තුමය වශයෙන් විදුලි බිල ගැළපීම් සිදු කළ යුතු වෙනවා. ඒ සඳහා සූත්‍රයට අනුව දත්ත මාස හයකට ලබාගත යුතු වෙනවා. ඒ නිසා අපිට කාර්තුමය වශයෙන් යන්න වෙනවා. එහි යම්කිසි ගැටලුවක් ද තිබෙනවා. පසුගිය ජනවාරි මාසයේ සිදු කළ සියයට 20ක විදුලි බිල පහත හෙළීමට පස්සේ ඊළඟ කාර්තුව මේ අප්‍රේල්වල පැමිණෙනවා. ඊළඟ කාර්තුවේදී මේ ගැටලුව නිසි පරිදි විසඳාගෙන ඉදිරියට යා යුතු වෙනවා. ඒ එකඟතාවට ඔවුන් පැමිණියා.”

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT