Home » නීතියේ පරමාධිපත්‍යය ආරක්ෂා කරන්න රජයට නොහැකි වෙලා

නීතියේ පරමාධිපත්‍යය ආරක්ෂා කරන්න රජයට නොහැකි වෙලා

-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

by sachintha
May 1, 2025 2:00 am 0 comment

‘පොහොසත් රටක්- ලස්සන ජීවිතයක්’ කෙසේ වෙතත් රටේ ලක්ෂ 220ක ජනතාව ජීවත් වෙන්නෙත් අමාරුවෙන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව පැවැසුවේ පෙරේදා (29) යටිනුවර ආසනයේ පැවැති ජන හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙලෙස ද කීවේය.

“අපේ රටේ ජනතාව පිට පිට මැතිවරණ දෙකකදී මාලිමා ආණ්ඩුවට විශාල ජනවරමක් දී තිබියදී ජනතා විමුක්ති පෙරමුණ තුන් වැනි වරම ලෙස ගම සහ නගරයේ බලයත් ඉල්ලා සිටිනවා. එම මැතිවරණ දෙකේ ඔවුන් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති මාලා සහ යෝජනා කොතෙක් දුරට සාර්ථකව ක්‍රියාත්මක කර තිබෙනවා දැයි ජනතාව සොයා බැලිය යුතුයි.

මේ රජය 35,000ක් රැකියා විරහිත උපාධිධාරීන්ට පළමු අය-වැයෙන් පත්වීම් දෙනවා කිව්වත් ඒ පොරොන්දුවත් කඩ කර තිබෙනවා. බලයට පැමිණි පසු සහල්, කිරි පිටි සහ පොල් ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල අඩු කරනවා කිව්වත් ඒවායේ මිල වේගයෙන් වැඩිවී තිබෙනවා.

මේ අය දැන් අලුත් පච සහ බොරු ලැයිස්තුවක් ඉදිරිපත් කරමින් යනවා. ඒ පළාත් පාලන ඡන්දය වෙනුවෙන්ම නිර්මාණය කළ පච ලැයිස්තුවක්. මෙරට ජනතාව තුන් වැනි වතාවටත් මේ පච ලැයිස්තුවට හසුවෙනවාද කියා තීරණය කළ යුතුයි. මේ රජය පසුගිය දවසක ජාත්‍යන්තර තලයේ බොරු දෙකක් කියා මාට්ටු වුණා.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පැනවූ ප්‍රතිචාරක බදු දින 90කට අත්හිටුවූයේ රජය ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව ලියූ ලියුමක් නිසා යැයි රජයේ ඇමැතිවරයෙක් කිව්වත් මේ සහනය අපට පමණක් නොව බදු ගැසූ සෑම රටකටම දුන්නා. එසේ කියා වෙනමම දූත කණ්ඩායමක් අපේ රටින් ගොස් සාකච්ඡා අවසන් කර තිබෙනවා. ඒ සම්බන්ධ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරනවා කිව්වත් අවසානයේ එවැනි නිවේදනයක්වත් නිකුත් වූයේ නෑ. ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට අවශ්‍ය නිවේදනය නම් නිකුත් කර තිබෙනවා. මේ නිවේදනයට අමෙරිකානු රජය සම්බන්ධ වූයේ නෑ.

මේ රජය අය -වැය යෝජනාවල නොමැති සංවර්ධන කටයුතු සහ සහන දෙනවා කියා ජනතාව තව තවත් රවටමින් යනවා. මේ අය තමන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති මාලාවේ පොරොන්දු පවා ඉටු කර නෑ. අලුත් අයි.එම්.එෆ්. ගිවිසුමකට යනවා කිව්වත් එයත් සිදු වූයේ නෑ. හිටපු ජනාධිපතිවරයාගේ ගිවිසුමේම එළැඹ සිටිනවා. වැඩ බැරි ආණ්ඩුවක් මේ.

අද වන විට අප රටත්, ජන සමාජයත් මිනීමරුවන්ගේ, කප්පම්කරුවන්ගේ සහ කුඩුකාරයන්ගේ රජදහනක් බවට පත්ව තිබෙනවා. නීතියේ පරමාධිපත්‍ය සුරක්ෂා කරන්න රජයට නොහැකි වී තිබෙනවා. ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියූ රජයේ මැති ඇමැතිවරුන්ට දැන් ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් ගැනීමට සිදුව තිබෙනවා.

ජනතාවගේ ආරක්ෂාව සහ රැකවරණය නැතිවීම ජාතික ආරක්ෂාවට බල නොපාන බව ආණ්ඩුව කියනවා. ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩුවේ අරමුණ විය යුත්තේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම වුවත් ඒ අයිතිය ජනතාවට අහිමිවී තිබෙනවා.

සමගි ජන බලවේගය පළාත් පාලන ආයතනවලින් බහුතරයක් ජයග්‍රහණය කළ පසු සෑම කොට්ඨාසයකම, වසමකම, ගමකම ප්‍රජා ආරක්ෂක කමිටු ස්ථාපිත කර ප්‍රජාව කේන්ද්‍රීය ආරක්ෂක වැඩපිළිවෙළක් ඇති කරනවා. ආරක්ෂක අංශ සහ ප්‍රජාව සමඟ එකතුවී ජනතා සහභාගීත්වයෙන් නීතිය සහ සාමය සුරක්ෂා කරන වැඩපිළිවෙළක් ඇති කරනවා. ඒ යුතුකම රට වෙනුවෙන් සමගි ජන බලවේගය ඉටු කරනවා.”

 

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT