මැතිවරණ වේදිකාවේ කියූ ලස්සන සුරංගනා කතා යථාර්ථයක් කර ගැනීමට වර්තමාන ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් දුන් ජනතාවට අද එළුවා පිටුපස යන නරියාට සිදු වූ දේට මුහුණපාන්නවී ඇතැයි හිටපු රාජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම මහතා පැවැසීය.
ඒ මහතා මේ බව පැවැසුවේ කොළඹ, මල් පාරේ පිහිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයේදී ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“හිටපු පරිසර රාජ්‍ය ඇමැතිවරයකු ලෙස ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය දකින්න මාත් ආසාවෙන් හිටියා. නමත් හරි ලස්සනයි. ඇත්තටම මෙය ක්‍රියාත්මක විය යුතු දෙයක්. මේ සඳහා පහුගිය අය-වැයෙන් රුපියල් බිලියන පහකට ආසන්න මුදලක් වෙන්කර තිබෙනවා. ඒත් බස්වල සහ ත්‍රිවීල්වල කෑලි ගලවනවා හැරෙන්න වෙන දෙයක් කර නෑ. දළදා ප්‍රදර්ශනයේ පැවැති අසංවිධානාත්මක බව නිසා හයදෙනෙක් ජීවිතක්ෂයට පත්වී හාරසියයකට අධික ප්‍රමාණයක් රෝහල්ගත වුණා. කුණු කසළ ටොන් හයසියයක් එකතු වුණා. මහනුවර එකතු වූ කුණු ටික කොළඹට ගෙන්වා ගැනීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා කටයුතු කරන බව දැන ගැනීමට ලැබුණා. අපි උත්සාහ කළේ කොළඹ කුණු පුත්තලමට යැවීමටයි. වැඩිම කුණු ජනනය වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ. මේ රජය කිසිම තක්සේරුවක් කර නෑ.
දියුණු රටවල පවතින කර්මාන්තශාලාවලින් සිදු වන පරිසර හානිය වෙනුවෙන් වන්දියක් දෙන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාව සිටියදී ඩුබායි ක්‍රොප් 92 සමුළුවේදී ලෝකයෙන් ඉල්ලා සිටියා. නමුත් දැන් එදා කළ දේවල් නැවතිලා. එදා දේශගුණික විපර්යාස සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් හැදුවා. ඒවා දැන් මුකුත් නෑ. ආණ්ඩුව අඳුරේ අතපත ගානවා.
ඩෙංගු රෝගීන් මේ මාසය වන විට දහහතරදාහක් වාර්තා වෙනවා. රෝග මර්දනයට ජනතාව සම්බන්ධ කරගෙන කරන වැඩපිළිවෙළක් නෑ. සූර්ය බල ශක්තියටත් කණකොකා හඬලා තිබෙනවා. නොමිලේ ලැබෙන දෙයටත් එසේ වේ නම් රට දියුණු කරන්නේ කොහොමද? නිවෙසකට සූර්ය බලශක්තිය නිපදවීමට විදුලි බල මණ්ඩලයෙන් අවසර ගන්න ලෙහෙසි නෑ. ඒ සඳහා වෙන රටවල ක්‍රියාත්මක වන ක්‍රමවේද අත්හදා බලන්නේත් නෑ. පුනර්ජනන බලශක්තිය 2030දී සියයට 70 ක් දක්වා වැඩි කර ගැනීමට ක්‍රියාත්මක වන වැඩ පිළිවෙළක් නෑ. එහෙම දෙයක් ආණ්ඩුව දන්නවාද කියලවත් පේන්න නෑ. ටෙන්ඩර් කැඳවීමකින් තොරව විදේශ සමාගම්වලට පොස්පේට්, ඛනිජ වැලි දීම ආරම්භ කර අවසන්. වැලි බලපත්‍ර 19ක් නිකුත් කර තිබෙනවා. ඒ කාලේ විරුද්ධ වෙලා කෑගහපු අය අද බලයට ඇවිත් පරිසර විරෝධී වැඩසටහන් නීත්‍යනුකූලව කරනවා. මේ ආණ්ඩුව අලුත් ගමනක් ආරම්භ කරයි කියා ජනතාව බලාපොරොත්තු වුණා. ආණ්ඩුව තවමත් කරන්නේ විපක්ෂයේ භූමිකාවයි.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ පරිසර හානිය පිළිබඳව අප පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කර තිබුණා. ඒවා පරිශීලනය කර පියවරක් ගත යුතුයි. අපට ඒවාට උදවු කරන්න පුළුවන්. ඇමැතිවරුන් වැඩක් කරනවා පේන්න නෑ. පේන්න ඉන්නේ ජනාධිපතිවරයා පමණයි. ටීම් වර්ක් එකක් නැතිව රටක් ගොඩගන්න පුළුවන්ද? රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාව සිටියදී විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අලි මිනිස් ගැටුම් වළක්වන පියවර ගැන සොයන්න භාර දුන්නා. අප විද්වත් අය කැඳවා වාර්තාවක් භාර දුන්නා. ඒවා ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන නෑ.”
ශිරෝමි අබයසිංහ සහ මැද කොළඹ සමූහ