Home » වංචා සිදුව ඇත්නම් පරීක්ෂණ කරන්න

වංචා සිදුව ඇත්නම් පරීක්ෂණ කරන්න

-මන්ත්‍රී නාමල් රාජපක්ෂ

by sachintha
May 1, 2025 1:04 am 0 comment

“පොහොර ගනුදෙනුවක වංචාවක් වෙලා තියෙනවා නම්, ඒ ගැන පරීක්ෂණ කරනවා මිසක් වැඩ කරන්න ඉන්න නිලධාරීන් දඩයම් කරන්න එපා. මේ ප්‍රශ්නය පිට දමා ගොවීන්ට පොහොර නොදී ඉන්නත් එපා.” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ වාමාංශික දේශපාලනයේ පැරැණිතම සාමාජිකයකු මෙන්ම වයස අවුරුදු සියයක් වන අහුන්ගල්ල, බැබිලමල්පොකුණ පදිංචි ලියන ගමගේ සිරිමන් අප්පුහාමි මහතාට උපහාර දැක්වීම නිමිත්තෙන් අහුන්ගල්ලේදී පැවැති උත්සවයක් අමතමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බළපිටිය ප්‍රධාන සංවිධායක, හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී චන්න ශ්‍රී සාලිය මැන්දිස් මහතාගේ සංවිධායකත්වයෙන් මේ උත්සවය පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.

“රටේ අනාගතය ගොඩගන්න පුළුවන් එකම දේශපාලන පක්ෂය පොදුජන එක්සත් පෙරමුණ විතරයි. රට ගොඩගන්න අපි වැඩ කර තිබෙනවා. තරුණ පරපුරේ සිතුම් පැතුම් හඳුනාගත් එකම පක්ෂය පොහොට්ටුවේ පක්ෂය විතරයි. සෑම ග්‍රාම සේවා වසමක්ම සංවර්ධනය කරන්න සැලැස්මක් අපි ළඟ තිබෙනවා. බොරු කියලා බලය ගන්න අපට අවශ්‍ය නෑ. හාල් පිටරටින් ගෙන්වන්නේ නෑ, ගොවිතැන දියුණු කරනවා ආදිය කිවුවා. ඒත් බලයට ආ ගමන් හාල් පිටරටින් ගේනවා පමණක් නොව හාල් පාලන මිලත් වැඩි කළා. රට වටේම මුහුද තිබෙනවා. මාළු පිටරටින් ගේන්නේ නෑ කියූ අය මාළුත් පිටරටින් ගේනවා. ධීවරයන්ට තෙල් සහනාධාරය දෙන බව කිවුවත් දැන් ඒ ගැන කිසිම කතාවක් නෑ. තවමත් ගොවියන්ට පොහොර ටික දුන්නේ නෑ.

දැන් මුදලක් දෙනවා කියනවා. ඒකවත් දීගන්න බැරි වුණා. මේ ආණ්ඩුවෙන් රැකියා ඉල්ලාගෙන ආ උපාධිධාරීන්ට පන්න පන්නා පහර දුන්නා. මේ අයට වූ පොරොන්දු ඉටු කරන්න හැකියාවක් නෑ. පොහොර නැවක් ගෙනාවා කියලා අමාත්‍යාංශයක නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නිලධාරියාත් ඒ පක්ෂයට උදවු කළ කෙනෙක්. පොහොර ගෙන්වීමේදී වංචාවක් වෙලා කියලා නිලධාරීන්ගෙන් පළි ගන්නවා. මේ විදිහට නිලධාරීන්ට දඬුවම් කරන්න ගියොත් නිලධාරීන්ට වැඩ කරන්න බැරි වෙනවා. ”

 

අහුන්ගල්ල සමූහ – අනුර යසමිත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT