Home » ඊළඟ සිංහල අලුත් අවුරුද්දේ මේ රටේ ජනපති රනිල්

ඊළඟ සිංහල අලුත් අවුරුද්දේ මේ රටේ ජනපති රනිල්

-හිටපු ඇමැති වජිර අබේවර්ධන

by sachintha
May 1, 2025 1:17 am 0 comment

ලබන වසරේ සිංහල අලුත් අවුරුද්ද වන විට මේ රටේ ජනාධිපතිවරයා වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බව එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ගාල්ල, උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පෙරේදා (29) පැවති ජන හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද සඳහන් කළේය.

“කිසි සැකයක් තියාගන්න එපා, ආණ්ඩුවට ඔය හිතන විදිහට දිනන්න බෑ. ප්‍රාදේශීය සභාවල ඉන්නෙත් හොරු කිවුවා. ඔබව රැවැට්ටුවා. මම කියන්නෙ නෑ කාටවත් හොරකම් කරන්න කියලා. දැන් මහජනයාට තේරෙනවා මොකක්ද මේ කියන්නෙ කියලා. අපි කල්පනාවෙන් වැඩ කරන්න ඕනෙ.

කොග්ගල නිදහස් වෙළෙඳ කලාපය කර්මාන්තශාලා 30කින් අංග සම්පූර්ණ කළේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එදා කර්මාන්ත ඇමැතිවරයා. හබරාදූවේ ජලය තිබු‌ණේ නෑ. ඇත්දුම් කැලේ අක්කර 300ක් අත්පත් කරගෙන මහා ව්‍යාපාරයක් ආරම්භ කළා. ඉතුරු වූ අක්කර 10ත් රනිල් වික්‍රමසිංහ මහතා 2015දී අගමැති වුණාම විවෘත කළා. හිටපු ජනාධිපතිතුමා කර්මාන්ත ඇමැති කාලේ උපදෙස් දී නළ ළිං හදා කොග්ගල පටන් ගත්තා. එදා වර්තමාන ආණ්ඩුවේ අය මොකක්ද කළේ. හබරාදූව හන්දියේ විරෝධතා කළා. අද කම්හල්වලට ගිහින් වෘත්තීය සමිති හදනවා.

බොම්බකාසල් වත්තට මහමෝදර රෝහල ගේන්න එදා ජේ. ආර්. ජයවර්ධන මහත්තයා මුල්ගල් තියනකොට අද ආණ්ඩුවේ කට්ටිය මොකක්ද කළේ. උද්ඝෝෂණයක් කළා, කරාපිටියට මළ මිනී ගේන්න එපා කියලා. අද එතැන වෛද්‍යවරුන් 1000යි, හෙදියන් 3000යි, ඇඳන් 2000යි. ජේ. ආර්. ජයවර්ධන මහත්තයා ජනාධිපති හැටියට ඉන්නකොට, රනිල් වික්‍රමසිංහ මහත්තයා අධ්‍යාපන ඇමැති ලෙස වෛද්‍ය පීඨය හැදුවා. හතර වටේ ගෙවල්වල සියලු දෙනාටම ආදායම් මාර්ග ඇති වුණා. කරාපිටියෙන් අක්කර 100ක් දියුණු කරන්නත් සංචාරක ව්‍යාපාරයට යොදවා තව ආදායම් සහ රැකියා අවස්ථා වැඩි කරන්න එදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මා කටයුතු කළා.

2001 දෙසැම්බර් මාසයේදී රනිල් වික්‍රමසිංහ මහත්තයා ජපානයේ ටෝකියෝ සම්මේලනය කැඳවා රට දියුණු කරන්න බැලුවා. ලොකු පොතක් ලිව්වා. ඒ පොත තමයි අද ක්‍රියාත්මක වෙන්නෙ. රනිල් වික්‍රමසිංහ මහත්තයා රට පාවා දෙන්න හදනවා කියලා එදා කිවුවා. අද ඒ පොත එයාලා ක්‍රියාත්මක කරනවා.

ඇතැම් අය කියනවා, මේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබෙන නිසා මුකුත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියලා. අපි මේ කතා කරන හැම මොහොතකම රට විශාල වශයෙන් වැටෙමින් තිබෙනවා. ඒක දැන් නවත්වන්න බෑ. ආණ්ඩුවට ඒ දේවල් කරන්න අත්දැකීම් සහ පළපුරුද්ද නෑ. ”

මේ අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න, මනූෂ නානායක්කාර මහත්වරුන්, එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ත්‍රික් සියලු ආසන සංවිධායකවරුන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු රැසක් සහභාගී වූහ.

ශිරෝමි අබයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT