අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් පවත්නා අලි මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා යෝජිත සියලු වැඩසටහන් ඉතා මන්දගාමීව ක්‍රියාත්මක වීම නිසා ගැටලුවට විසඳුම් සෙවීමේදී බලවත් අර්බුදකාරී තත්ත්වයක් උද්ගතවී තිබේ.
මීට පෙර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමය තුළ අලි මිනිස් ගැටුම් අවම කිරීම සඳහා නිර්දේශ ලබාදීම පිණිස සුප්‍රකට පරිසර විශේෂඥයකු වන ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කමිටුවක් පත්කරනු ලැබීය. වසරක් ගතවී ඇතත් එම කමිටුවේ නිර්දේශ කිසිවක් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් පියවර නොගත් හෙයින් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිව සිටි කාලය තුළ ඔහු විසින් පෘථිවිරාජ් කමිටුවේ නිර්දේශ වහාම ක්‍රියාත්මක කිරීම සඳහා හිටපු වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයකු ආචාර්ය සුමිත් පිලපිටිය මහතාගේ සභාපතිත්වයෙන් තවත් ජනාධිපති කමිටුවක් පත් කෙරුණද එම කමිටුවද ඉතා බලවත් දුෂ්කරතා මැද මන්දගාමී අයුරින් ක්‍රියාත්මක වී මේ වන විට අකර්මණ්‍යව වී ඇති බව වාර්තා වේ.
තත්ත්වය මෙසේ තිබියදී උග්‍රව පවත්නා උතුරු මැද අලි මිනිස් ගැටුම අවම කිරීම සම්බන්ධයෙන් බලවත් පරිශ්‍රමයක් දරන උතුරු මැද ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා ජනාධිපති කමිටු නිර්දේශ ක්‍රියාත්මක වන තෙක් අලි මිනිස් ගැටුම සමනය කිරීමේ විශේෂ වැඩසටහනක් අනුරාධපුර හා පොලොන්නරුව දෙදිසාව තුළ බලගැන්වීමට පියවර ගත් නමුදු මෙම ක්‍රියාදාමය ද බොහෝ දුරට අඩ පණව යමින් පවත්නා බව ගොවි සංවිධාන මැසිවිලි නඟති.
උතුරු මැද ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ අඩාළ වී තිබූ අලුතින් විදුලි වැට ඉදිකිරීමේ වැඩ ශක්තිමත් කිරීමටත් වැඩිපුර වනජීවී ආරක්ෂක නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක නියාමකයින් විදුලි වැට සුරැකීමේ නඩත්තු කිරීමේ, රාජකාරී සඳහා යෙදවීමටත් මේ දක්වා ගැසට් කිරීමට නොහැකි වී ඇත. දැනට වන අලින් සඳහා වැසී ගොස් තිබෙන අලිමංකඩවල් 16 අතුරින් උතුරු මැදට බලපාන්නා වූ අලිමංකඩ 05ක් යළි විවෘත කිරීමට පියවර ගැනීමට නියමිතව තිබුණි. එම නව අලිමංකඩ වනුයේ දිගම්පොතාන, 5 කණුව (කලා වැව – නාච්චාදූව), නාච්චාදූව – මහකනදරාව, නාච්චාදූව – විල්පත්තු සහ පුලියන්කුලම අලිමංකඩය. මීට අමතරව වනජීවී වන සංරක්ෂණ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු, ප්‍රාදේශීය ලේකම්වරු හා මහවැලි අධිකාරිය එක්ව වහාම ක්‍රියාත්මක වන පරිදි ග්‍රාමීය, ප්‍රාදේශීය දිස්ත්‍රික් හා පළාත් මට්ටමේ ආපදා කළමනාකරණ කමිටු පිහිටුවීමත්, ප්‍රමාදවී ඇති අලුත් විදුලි වැට ඉදිකිරීමේ කාර්ය කඩිනම් කිරීමටත් තීරණය කර තිබුණි.
මේ පසුබිම තුළ ගොවි සංවිධාන චෝදනා කරන්නේ ඉහත කී කිසිදු වැඩසටහනක් අපේක්ෂිත ආකාරයෙන් කඩිනමින් හා කාර්යක්ෂම ආරම්භ කිරීමට බලධාරීන් විසින් මේ දක්වා සාධනීය පියවර ගෙන නොමැති බවයි.
Òඅනුරාධපුර වනජීවී කලාප තුළ කි.මී. 432ක විදුලි වැට ඉදිවී තිබුණා. අලුතින් කි.මී. 1,000ක විදුලි වැට දිස්ත්‍රික්කය තුළ ඉදිකිරීමට 2021 දී තීන්දුවක් ගත්තත් එම දිග ප්‍රමාණය කපා හැර අලුතින් විදුලි වැට කි.මී. 484 ක් ඉදිකිරීමට පසුව දේශපාලන අධිකාරිය තීරණය කළා. 2023 – 24 වර්ෂය තුළ ප්‍රතිපාදන ලබාදී ඇත්තේ කි.මී. 272ක දුරකට විදුලි වැට ඉදිකිරීමටයි. මේ සඳහා රු.මි. 73.7ක් වෙන් කළ නමුත් 2024 අවසන් වන විට ඉදිකිරීම් අවසන් වී තිබුණේ කි.මී. 180 ක දුරකට පමණයි. ඉතිරි කි.මී. 92 ඉදිකිරීමේ වැඩ මේ දක්වා ආරම්භ වී නැහැ. ප්‍රතිපාදන හිඟය සහ අත්‍යවශ්‍ය ඉදිකිරීම් ද්‍රව්‍ය හිඟය මෙයට හේතුවී ඇති බව දැන ගැනීමට ලැබුණා. සිවිල් ආරක්ෂකයින් වනජීවී දෙපාර්තමේන්තුවට නිදහස් කිරීම අඩපණ වී තිබෙනවා. වනජීවී දෙපාර්තමේන්තුවේ වනජීවී ආරක්ෂක නිලධාරීන්ගේ දැඩි හිඟයක් දිස්ත්‍රික්කය තුළ පවතිනවා.
ගොවි සංවිධාන හරහා ගම්වාසීන්ගේ සහාය විදුලි වැට ඉදිකිරීම ආරක්ෂා කිරීම හා නඩත්තු කටයුතු සඳහා යොදා ගැනීමේ නිසි ක්‍රමවේදයක් නැහැ. අපේ ජීවිත හා ගොවි බිම් ආරක්ෂා කරගැනීමට තුවක්කු ඉල්ලුවත් තුවක්කු තියා වායු තුවක්කුවක්වත් ලබාදීමට අදාළ බලධාරීන් විසින් මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ.Ó ගොවි සංවිධාන නිලධාරීන් පසුගිය දිස්ත්‍රික් කමිටු රැස්වීම්වලදී සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම්වලදී අවධාරණය කළහ.
මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ පැරණි විදුලි වැට බොහෝමයක් බිඳ වැටී හෝ අකර්මණ්‍යව ගොස් ඇති බව ගොවීන් විසින් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් අනුරාධපුර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවට, දිස්ත්‍රික් ලේකම්වරයාට සහ සහකාර දිස්ත්‍රික් වනජීවී සංරක්ෂණ සහකාර අධ්‍යක්ෂවරයාට කරුණු ඉදිරිපත් කොට ඇත. වනඅලි රක්ෂිත තුළට පලවා හැරීමේ වැඩසටහනද අඩාළව පවතී. අලි වෙඩිවලට වනඅලි පුරුදුව සිටින නිසා අලි වෙඩි දමා ඔවුන් බිය ගන්වා පලවා හැරීමටද නොහැකිවී තිබේ. අනුරාධපුර සහ පොලොන්නරුව දිස්ත්‍රික්ක දෙක තුළ පිහිටි ප්‍රාදේශීය බලප්‍රදේශ 29 න්, 27 ක්ම මේ වන විට බරපතළ අයුරින් අලි මිනිස් ගැටුමට ගොදුරු වෙමින් සහ එහි ප්‍රතිවිපාක විඳගනිමින් පවතී.
අනුරාධපුර අතිරේක – අමිල ප්‍රභාත් වනසිංහ
අනුරාධපුර දිස්ත්‍රික් සමූහ – නිමල් විජේසිංහ