උසස් පෙළ විෂය ධාරා හයෙන් පහකම A තුන බැගින් ලබා රත්නපුර දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන පහක්ම රත්නපුර සීවලී මධ්‍ය විදුහලේ සිසු සිසුවියන් පස් දෙනෙකු විසින් ලබා ගෙන සීවලී මධ්‍ය විදුහලට විශාල කීර්තියක් ගෙන දීමට සමත්ව ඇත.
උසස් පෙළ විෂය ධාරා හයෙන් පහකම දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන දිවයිනේ කිසිදු පාසලක් මේ දක්වා ලබා ගෙන නොමැති බවට තොරතුරු ලැබී ඇති බවත්, මෙය විදුහල ලැබූ විශාල කීර්තියක් බවත් ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වී අධ්‍යාපන කටයුතුවල නිරත වුණු එම දරුවන් පස් දෙනාටත්, ඔවුන්ගේ මවුපියන්ටත්, එම දරුවන්ට අධ්‍යාපනය ලබා දුන් ගුරුවරුන්ටත් විශේෂ ස්තූතියක් පළ කරන බවද සීවලී මධ්‍ය විදුහලේ විදුහල්පති කපිතාන් නීල් ධම්මික වතුකාරවත්ත මහතා පවසයි.
ඉංජිනේරු තාක්ෂණවේදයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් ප්‍රථමයා ලෙසත් දිවයිනෙන්ම දෙවැනියා ලෙසත් සමත් වීමට මෙම විදුහලේ ජේ.එම්.යූ. මලිත් ජයසූරිය සිසුවා හට හැකිවී ඇත. මෙම සිසුවා රත්නපුර කෙටේතැන්නේ පදිංචි අයෙකු වන අතර, ඔහුගේ මව ලක්මිණී ජයසුන්දර මහත්මිය ගෘහිණියක වේ. පියා ඩොනල්ඩ් ජයසුන්දර ව්‍යාපාරිකයෙකි. මෙම සිසුවාගේ අනාගත බලාපොරොත්තුව වන්නේ විදුලි ඉංජිනේරුවෙකු වී රටට සේවය කිරීමයි. ඔහු මූලික අධ්‍යාපනය පැල්මඩුල්ල ධර්මපාල විදුහලෙන් ලබා සාමාන්‍ය පෙළ A අටක් හා B එකක් ලබා උසස් පෙළ සඳහා රත්නපුර සීවලී මධ්‍ය විදුහලට ඇතුළත්ව A තුනක් ලබා උසස් පෙළ ඉහළින් සමත්ව ඇත.
ජෛව තාක්ෂණවේදයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් ප්‍රථමයා වීමටත්, දිවයිනෙන්ම 37 වැනියා වීමටත් එච්.කේ.එම්. මාධවී වික්‍රමබණ්ඩාර සිසුවියට හැකිවී ඇත. ඇය අ.පො.ස. සා පෙළ දක්වා ඇහැලියගොඩ ධර්මපාල විදුහලෙන් අධ්‍යාපනය ලබා අ.පො.සා. සා පෙළ විභාගයෙන් A නවයක් ලබා උසස් අධ්‍යාපනය සඳහා රත්නපුර සීවලී මධ්‍ය විදුහලට ඇතුළත්ව පසුගිය උසස් පෙළ විභාගයට ඉදිරිපත්ව A තුනක් ලබා රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බවට පත්ව ඇත. ඇයගේ මව වන ප්‍රියංකා ජයසිංහ මහත්මිය ගෘහිණියක වන අතර, පියා වන එච්.කේ. වික්‍රමපාල මහතා විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකි. ඇගේ අනාගත බලාපෙරොත්තුව වන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරියක ලෙස කටයුතු කිරීමටයි.
උසස් පෙළ විභාගයෙන් ගණිත අංශයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රථමයා වීමටත්, දිවයිනෙන්ම 20 වැනියා වීමටත් සීවලී මධ්‍ය විදුහලේ එන්. ආර්.සී.ටී. කුමාරසූරිය සිසුවාට හැකිවී ඇත. ඔහු උඩවලව ප්‍රාථමික විදුහලින් පහ පන්තිය දක්වා ඉගෙන ගෙන 2016 ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 173ක් ලබා කඩඉම් ලකුණු මත පසුව සීවලි විදුහලට ඇතුළත්ව සාමාන්‍ය පෙළ හා උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරා ඇත. ඔහු සාමාන්‍ය පෙළ විභාගයෙන් A නවයක් ලබා ඇති අතර, උසස් පෙළ ගණිත විෂය ධාරාවෙන් A තුනක් ලබා මෙම ජයග්‍රහණය විදුහලට ගෙන දීමට සමත්ව ඇත. ඔහුගේ මව වන්නේ කේ.එම්.එස්. රත්නායක වන අතර, පියා වන්නේ එන්.ආර්.ටී.එස්. කුමාරසූරිය මහතායි. ඔවුන් දෙදෙනාම ගුරුවරුන් ලෙස මේ වන විට කටයුතු කරමින් සිටී. මෙම සිසුවාගේ නාගත බලාපොරොත්තු වන්නෙ විශ්වවිද්‍යාලයට ඇතුළත්ව හොඳ අධ්‍යාපනයක් ලබා ලැබෙන වෘත්තිය අනුව රටට උපරිම සේවයක් කිරීමටයි.
ජීව විද්‍යා අංශයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රථමයා වීමටත්, දිවයිනෙන්ම 15 වැනියා වීමටත් සීවලී මධ්‍ය විදුහලේ එච්.එම්.වී. මාලින්ද හතලහවත්ත සිසුවාට හැකිවී ඇත. ඔහු ප්‍රාථමික අධ්‍යාපනය රත්නපුර මිහිඳු විදුහලෙන් ලබා 2016 ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 171 ලබා සමත්ව උසස් අධ්‍යාපනය සඳහා රත්නපුර සීවලී මධ්‍ය විදුහලට ඇතුළත්ව ඇත. මෙම සිසුවා සාමාන්‍ය පෙළ A නවයක් ලබා ඇති අතර පසුගිය උසස් පෙළ විභාගයෙන් ජීව විද්‍යා විෂය ධාරාවෙන් A තුනක් ලබා මෙම ජයග්‍රහණය ලබා ඇත. ඔහුගේ මව වන අයේෂා පුංචිහේවා මහත්මිය සබරගමුව පළාත් සභාවේ සංවර්ධන නිලධාරිනියක ලෙස සේවය කරන අතර පියා වන කමල් හතලහවත්ත මහතා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස රත්නපුර ශික්ෂණ රෝහලේ සේවය කරයි. මෙම සිසුවාගේ අනාගත බලාපොරෙත්තුව වන්නේ ඉදිරියේදී ජීව විද්‍යා කථිකාචාර්යවරයෙකු වීමයි.
රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රථමයා වීමටත්, දිවයිනෙන්ම 30 වැනියා වීමටත් සීවලී මධ්‍ය විදුහලේ එච්.එම්.අරුනලී හටන්පොළ සිසුවියට හැකිවී ඇත. ඇය රත්නපුර ඕපනායක පදිංචි අයෙකු වන අතර පහ ශ්‍රේණිය දක්වා හුනුවල ධර්මරාජ විදුහලෙන් අධ්‍යාපනය ලබා ශිෂ්‍යත්ව විභාගය සමත්ව උසස් පෙළ සඳහා සීවලී මධ්‍ය විදුහලට ඇතුළත්ව පසුගිය අ.පො.ස උසස් පෙළ විභාගයට ඉදිරිපත්ව මෙම ජයග්‍රහණය ලබා ඇත.
කුරුවිට – කේ.ඒ. සුනිල්