Home » බණ්ඩාරවෙල ප්‍රාදේශීය රෝහල මූලික රෝහලක් ලෙස උසස් කිරීමට පියවර

බණ්ඩාරවෙල ප්‍රාදේශීය රෝහල මූලික රෝහලක් ලෙස උසස් කිරීමට පියවර

by sachintha
May 1, 2025 1:35 am 0 comment

මෙතෙක් කලක් ‘ඒ’ කාණ්ඩයේ ප්‍රාදේශීය රෝහලක් ලෙස පැවති බණ්ඩාරවෙල ප්‍රාදේශීය රෝහල, ‘බී’ කාණ්ඩයේ මූලික රෝහලක් ලෙස උසස් කර ඒකාබද්ධ ආයුර්වේද සුවතා පහසුකම් සහිතව සංවර්ධන කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ලිඛිතව අනුමැතිය ලබාදුන් බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සමඟ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, ඌව පළාත් ආණ්ඩුකාරවර කපිල ජයසේකර, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවින්ද්‍ර බණ්ඩාර, ඌව පළාත් ප්‍රධාන ලේකම් මහේෂ් ගම්මන්පිල, ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජීවන්ත හේරත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පවත්වන ලද විශේෂ සාකච්ඡාවකින් පසු ඒ පිළිබඳව සොයාබැලීම පිණිස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් නිලධාරීන් පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පත්කරන ලද අතර, එම කණ්ඩායම විසින් බණ්ඩාරවෙල ප්‍රාදේශීය රෝහල සහ දියතලාව මූලික රෝහල ආශ්‍රිතව නිරීක්ෂණ චාරිකාවක් සිදු කර ලබාදුන් අධ්‍යයන වාර්තාවක නිර්දේශ සැලකිල්ලට ගෙන ‘ඒ’ වර්ගයේ ප්‍රාදේශීය රෝහලක් වූ බණ්ඩාරවෙල ප්‍රාදේශීය රෝහල, ‘බී’ වර්ගයේ මූලික රෝහලක් ලෙස උසස් කර ඒකාබද්ධ ආයුර්වේද සුවතා පහසුකම් සහිතව සංවර්ධන කිරීමට තීරණය කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් ඌව පළාත් ප්‍රධාන ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා වෙත ඉකුත් 28 වැනිදා ලිඛිතව දැනුම්දී ඇත. එසේම නව රෝහල් වර්ගීකරණයට අනුව ඉදිරියේදී මෙම රෝහලේ සාමාන්‍ය වෛද්‍ය ප්‍රතිකාර හා සාමාන්‍ය ශල්‍යකර්ම මෙන්ම ළමා රෝග, නාරි හා ප්‍රසව, අක්ෂි හා චර්ම රෝග අංශයන්, නිර්වින්දන හා විකිරණවේදී සේවාවන් මනෝ චිකිත්සක ප්‍රතිකාර හා හදිසි ප්‍රතිකාර ඇතුළු මූලික විශේෂඥ සේවාවන් සමඟ ආයුර්වේද අංශය හා එක්ව ආයුර්වේද සුවතා පහසුකම් ලබාදීමද සිදු විය යුතු බවත් අදාළ ලිපියෙන් අවධාරණය කර ඇති අතර, මෙම රෝහල, ‘බී’ වර්ගයේ මූලික රෝහලක් ලෙස ඌව පළාත් සභාවේ පරිපාලනය යටතේ සංවර්ධනයකොට පවත්වාගෙන යා යුතු බවත් ඒ සඳහා අවශ්‍ය ඉදිරි නෛතික කටයුතු කඩිනමින් ඉටුකිරීමට පියවර ගන්නා බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා එම ලිපියෙන් දන්වා තිබේ.

ඒ අනුව අක්කර 26ක භූමි ප්‍රමාණයකින් යුතු බණ්ඩාරවෙල ප්‍රාදේශීය රෝහල මූලික රෝහලක් බවට සංවර්ධනය කිරීමෙන් පසු බණ්ඩාරවෙල, ඇල්ල, හපුතලේ, හාලිඇළ සහ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ආසන්න වශයෙන් 150,000 – 200,000 අතර ජනතාවකට ඉන් සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමට හැකියාව පවතින අතර, මෙමඟින් සේවා ලබාගන්නා ජනතාව අතර, වතු ජනතාව ද විශාල ප්‍රමාණයක් වන බවත් බණ්ඩාරවෙල ප්‍රාදේශීය රෝහල මූලික රෝහලක් බවට පත්කර සංවර්ධනය කිරීමට පවතින විභවතාවයන් පෙන්වා දෙමින් පසුගිය ආණ්ඩු 03ක් යටතේ සිදු කරගත නොහැකි වූ එම කටයුත්ත කඩිනමින් ඉටුකිරීමට වත්මන් රජයට හැකිවූ බවත් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

 

හාලිඇළ සමූහ – ආර්.එම්. විජේරත්න,

දෙමෝදර සමූහ – ආර්. එම්. සෝමරත්න

ඌව වෙල්ලස්ස – ඩී. එම්. එස්. ගුණතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT