Home » පාර මාරු වූ අලියා රථයක ගැටී ඒ මතට වැටී ගමන් ගත් යුවළගේ දිවි නූලෙන් බේරෙයි

පාර මාරු වූ අලියා රථයක ගැටී ඒ මතට වැටී ගමන් ගත් යුවළගේ දිවි නූලෙන් බේරෙයි

by sachintha
May 1, 2025 1:37 am 0 comment

පුත්තලම අනුරාධපුර මාර්ගයෙ 6 කණුව වෙල්යාය ආසන්නයේදී මාර්ගය හරහා ගමන් කරමින් සිටි අලියකු මෝටර් රථයක ගැටී ඒ මතට වැටීමෙන් එහි ගමන් ගත් යුවළගේ දිවි යාන්තමින් බේරී ඇති බව කරුවලගස්වැව වනජීවී කාර්යාලයේ නිලධාරීහු පවසති.

මෙම අනතුරට මුහුණ දී ඇත්තේ පුත්තලම ළය රෝහලේ රසායනාගාර භාර විද්‍යාඥයකු හා ඔහුගේ බිරිය පුත්තලම බලා රැකියාවන් වෙත ගමන් කරමින් සිටින අතරතුරදීය. මෙම යුවළ කරුවලගස්වැව සිට පුත්තලම බලා ගමන් කරමින් සිටියදී නොසිතූ ලෙස අලියා හයේ කණුව වෙල්යාය මැදින් මාර්ගය හරහා මාරු වී ඇති බවත් කිසිවක් කර ගැනීමට නොහැකි වීමත් සමඟ අලියාගේ ගැටී ඇති බවත් වනජිවී නිලධාරීහු පවසති.

කෙසේ නමුත් මෙම යුවළ ගමන් ගත් මෝටර් රථය ඉතා සෙමින් ධාවනය වෙමින් තිබීම නිසා අලියාගේ හා මෝටර් රථයේ ගමන් ගත් යුවළගේ දිවි බේරී ඇති නමුත් අලියා මෝටර් රථයේ ගැටී ඒ මතට වැටීමෙන් මෝටර් රථයට විශාල අලාභයක් සිදුව ඇති බව වනජීවී නිලධාරීහු පවසති. වනජීවී නිලධාරීන් පවසන්නේ මෝටර් රථයේ ගැටුණ අලියා ආසන්නයේ රක්ෂිතයට ගොස් ඇති බවට සැක කරන බවයි. අලියාට කිසියම් හානියක් වූවාද යන්න සොයාබැලීම ආරම්භ කරන බවද ඔවුහු පවසා සිටියහ. මෝටර් රථයේ ගමන් ගත් යුවළ මෙම සිද්ධියත් සමඟ දැඩි කම්පනයට පත්ව සිදුවූ දෙය සිතාගත නොහැකිව සුළු වේලාවක් සිට ඇති බව ඔවුහු පවසති.

පුත්තලම අතිරේක – හිරාන් ප්‍රියංකර ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT