මතුව ඇති ආර්ථික දුෂ්කරතාවයන් මහ මඟ වෙළෙඳාමට ද එල්ලකොට ඇත්තේ මරු පහරකි. ප්‍රධාන මාර්ගය පසෙක රුක් මුදුන් යටට වී අත්කම් නිෂ්පාදන අලෙවි කරමින් දිවි සරි කළ කුඩා ව්‍යාපාරිකයින් ද මෙසේ දුෂ්කරතා රැසකට මැදිව දවස ගෙවති. තඹුත්තේගම, මැදගම, ගල්ගමුව, තලාව හා ගල්නෑව ආදී ප්‍රදේශවල මහ මඟ පසෙකට වී වට්ටි, පෙට්ටි වැනි අත්කම් නිර්මාණ සහ බෙර, උඩැක්කි, රබන්, ඩොලැක්කි ආදී වාද්‍ය භාණ්ඩ අලෙවියෙන් දවස සරි කරන “පාලිත සිසිර කුමාර” මහතා මතුව ඇති දුෂ්කරතා පිළිබඳව මෙසේ අදහස් දැක්වූයේය.
“ඉඳලා හිටලා මනුස්සයෙක් තමයි දැන් අපි ළඟ නවත්තන්නේ. ඇත්තටම මිනිස්සුන්ට අමතර දේවල් ගන්ඩ සල්ලි නෑ. මොනවා හරි කන්ඩ, බොන්ඩ දේවල් ටික ගත්තහම අතේ තියෙන සල්ලි ටික ඉවරයි. අපිත් දරු පවුල් ජීවත් කරන්නේ මේ වෙළෙඳාමෙන්. සමහර දවස්වලට කීයක්වත් නැතිව හවසට ගෙදර යන්ඩ වෙනවා. ඉස්සර නම් විනෝද ගමන් යන කට්ටිය එහෙම අපි ළඟ නවත්තලා බඩු ගන්නවා. ඒත් දැන් ඉඳලා හිටලා එහෙමත් කෙනෙක් තමයි මොනවා හරි දෙයක් ගන්නේ. මේ වට්ටි පෙට්ටි එහෙම වේවැල්දෙණියෙන් ගේන්නේ. බෙර එහෙම නුවරින් ගේන්නේ. සමහර ඒවා ගල්ගමුවෙන් ගේනවා.”
මෙම මාර්ගය ඔස්සේ අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය ප්‍රධාන අටමස්ථානයේ සිද්ධස්ථාන වෙත ගමන් කරන වන්දනාකරුවන් මේ ජීවිතවල පිහිටට එන දෙවියන් මෙන්ය. එහෙත් පාර පාළු වනදාට මේ ජීවිත ද පාළු වූවාක් මෙන්ය. සති අන්තයේ කීයක් හෝ උපයාගත හැකි වුවත් සතියේ දිනවල එසේ එන පිරිස අඩුයි. මේ අන්දමින් මහ මඟ වාද්‍ය භාණ්ඩ වෙළෙදාමේ යෙදෙන “සමීර ප්‍රේමරත්න” මෙසේ කරුණු කීවේය.
“මේ දවස්වල වෙළෙඳාම හොඳටම අඩුයි. මිනිස්සුන්ට අතේ සල්ලි නෑ. අපි දෙයියනේ කියලා දවසේ වියදම හොයාගෙන ජීවත් වුණේ මේ වෙළෙඳාමෙන්. මිනිස්සුන්ට විනෝද වෙන්ඩත් සල්ලි ඕනනේ. මිනිස්සු නොකියා හිටියට පුදුම අමාරුවකින් ජීවත් වෙන්නේ. හැමෝම රජයේ සේවකයෝ නොමෙයිනේ. එදිනෙදා ව්‍යාපාර කරපු අපි වගේ ගොඩක් මිනිස්සුන්ට තාමත් හොඳක් වුණේ නෑ. ඒත් මේ කරන දේ අතෑරලා දාලා එකපාරටම වෙන කරන්ඩ දේකුත් නෑනේ. මහ පාර සිය ජීවිත සඵල කරවනු ඇතැයි යන අපේක්ෂාවෙන් එදිනෙදා ආදායම සොයන පාලිතලාගේ, සමීරලාගේ කතාව එබන්දකි. ඔවුන් හෙට හොඳවේ යැයි යන අපේක්ෂාවෙන් තවමත් මහ මඟ ජීවිත සටනට උරදී සිටිති.
තඹුත්තේගම විශේෂ – ඩබ්ලිව්. ප්‍රදීප්