Home » පුපුරැස්ස ලෙවලන් වතු ගම්මානවලට ලියුම් බෙදන්න තැපැල්කරුවන් නෑ

පුපුරැස්ස ලෙවලන් වතු ගම්මානවලට ලියුම් බෙදන්න තැපැල්කරුවන් නෑ

එදිනෙදා ලිපි නොලැබීමෙන් ජනතාව පීඩාවේ / ඡන්ද කාඩ් තොගයකුත් තවමත් තැපැල් හලේ

by sachintha
May 1, 2025 1:46 am 0 comment

ගම්පොළ පුපුරැස්ස ලෙවලන් ප්‍රදේශයේ වතු ගම්මාන රැසක් තුළ ලියුම් බෙදීම සඳහා වසර හතරකට අධික කාලයක් පුරා තැපැල්කරුවන් නොමැති වීමෙන් දෛනික ලිපි නොලැබෙන බවත්, බොහෝ පුද්ගලයන්ට මෙවර පළාත් පාලන ඡන්දය සඳහා ලැබීමට නියමිත ඡන්ද කාඩ් පත් ද ලැබී නොමැති බවත් ඔවුහු පවසති.

පුපුරැස්ස නිව් ෆොරස්වත්ත, මනිකට්ටුව, ජී.කේ. කොටස, සුමින්ට් ගාඩු, පිටවලවත්ත, අතුසේන හා ලෙවලන් වතුයායේ ගම්මානවල ජනතාව මෙසේ පීඩාවට පත්ව සිටිති. වතු ජනතාව සඳහා ලිපි බෙදීමට තැපැල් දෙපාර්තමේන්තුව සඳහා ප්‍රමාණවත් සේවක සංඛ්‍යාවක් නොමැති බැවින් මුල් අවධියේදී වතු කම්කරුවකු හෝ එහි වතු කංකානම් පැමිණ ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් ලිපි රැගෙන ගොස් ඇති අතර, පසුව වතු තැපැල්කරුවන් ලෙස එක් අවස්ථාවකදී පමණක් කණ්ඩායමක් බඳවාගෙන ඇත. පසුව ඔවුන් ද වෙනත් රැකියාවලට යෑම, කොටසක් තැපැල් කාර්යාලවල සේවයට යෑම හා විශ්‍රාම යෑම ආදී කරුණු හේතුවෙන් එම ගැටලුව පෙර තත්ත්වයටම පත්ව තිබේ.

තැපැල් දෙපාර්තමේන්තුව තුළ දැනට තැපැල්කරුවන් විසිහත්දහසක් පමණ සිටිය යුතු වුවත්, නව දහසක පමණ සේවක හිඟයක් ඇති බව පැවසේ. එසේ නමුත් මෙම වතු ගම්මාන සඳහා මුල් යුගයේ සිටම තැපැල්කරුවන් සිට නොමැති අතර, වතු කංකානම් හෝ ඔහු නම් කරන කම්කරුවකු පැමිණ ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් ලිපි රැගෙන ගොස් එක් ස්ථානයක එම ලිපි තැබූ විට පළාතේ මිනිසුන් පැමිණ තම තමන්ගේ ලිපි ලබා ගැනීම සිදු විය. එසේම සතියකට හෝ දෙකකට වරක් දෙපාර්තමේන්තු තැපැල්කරුවකු ද මේ ආකාරයට ඉතිරි ලිපි රැගෙන ගොස් තිබුණද එයද සේවක හිඟය සමඟ බිඳවැටී තිබේ. මේ හේතුව නිසා වතු ජනතාවට එන දෛනික ලිපි, බිල්පත්, උසාවි ලිපි, සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් ලිපි, රන් භාණ්ඩ උකස් ලිපි, බැංකු දැනුම්දීම් ආදී සියල්ල කලට වේලාවට නොලැබීමෙන් ජනතාව ද දැඩි පීඩාවට පත්ව සිටිති.

පුපුරැස්ස වතු ජනතාව ද තමන්ගේ එම ගැටලු පැවසූ අතර, ඒ පිළිබඳව පුපුරැස්ස තැපැල් ස්ථානාධිපති ලාල් උදය කුමාර මහතාගෙන් විමසීමේදී ඔහු සඳහන් කළේ, තමන්ට මාධ්‍යයට කරුණු පැවසීමට බලයක් නොමැති බවයි. ඒ අනුව ගම්පොළ තැපැල් පාලන කාර්යාලයේ ස්ථානාධිපතිනි චම්පා ඒකනායක මහත්මියගෙන් මේ පිළිබඳව විමසීමේදී ඇය සඳහන් කළේ, මීට කලකට ඉහතදී බඳවාගත් වතු තැපැල්කරුවන් නොමැති වීම සමඟ මේ වන විට ගැටලු රැසක් ඇති වී තිබෙන බවකි. වතු ජනතාවගේ දෛනික ලිපි ගැටලුව සමඟ මෙවර ඡන්ද පත් බෙදීමේ ගැටලුව මතු වූ බැවින් ඒ සඳහා අතිකාල ලබා දී ගම්පොළින් තිදෙනකු යවා එම ප්‍රදේශයේ ඡන්ද පත් බෙදීමට කටයුතු කළ බවත් තවත් තිබෙන්නේ කාර්යාලයට පැමිණ ලබා ගන්නා ටික පමණක් බවත් එහි ද ඡන්ද කාඩ් සියයක් පමණ තිබෙන අතර, එය එම කාර්යාලය මඟින් බෙදනු ලබන බවත් ඇය සඳහන් කළාය.

කෙසේ නමුත් පුපුරැස්ස ඇතුළු වතු ගණනාවක ජනතාව පවසන්නේ ඡන්ද කාඩ් මෙන්ම තමන්ගේ එදිනෙදා ලිපි ලැබීම සඳහා තැපල්කරුවන් ලබා දෙන ලෙසයි.

ගම්පොළ – සුරංග දිල්හාන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT