විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ කුකුල්කටුව වනජීවී කාර්යාල නිලධාරීන් විසින් කරන ලද වැටලීමකදී දැඩි ආරක්ෂිත ගල් ඉබ්බන් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවන් සිවුදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ ඊච්චකුලම, රණවරාව හා ඔයාමඩුව යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 52,57,20,34 වයස්වල පසුවන සිවුදෙනකු වන අතර, මෙම සැකකරුවන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දමන ප්‍රදේශයේ වගුරු බිමක දැඩි ආරක්ෂීත ගල් ඉබ්බන් අල්ලමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.
ගල් ඉබ්බා දැඩි ආරක්ෂීත උරග ගණයට වැටෙන සතකු වන අතර, ගල් ඉබ්බන් ඇල්ලීම හා සන්තකයේ තබා ගැනීම වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත අනුව තහනම්ය. එලෙස තබා ගන්නා සැකකරුවන්ට දඩ නියම කිරීම සිදු වෙයි. වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. මෙම වැටලීමට කුකුල්කටුව වනජීවී කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී කේ.පී. උදය මහතා සමඟ වන සත්ත්ව නියාමක පී.වී. සඳරුවන්, සිවිල් ආරක්ෂක නියාමකයන් වන පී.ජේ.දිසානායක හා එස්.ජේ.දිසානායක යන පිරිස එක්ව සිටියහ.
පුත්තලම අතිරේක – හිරාන් ප්‍රියංකර ජයසිංහ