Home » රු. ලක්ෂ 50ක් සමඟ පිට පිට දෙවැනි වරටත් ශූරතාව ගාල්ලට
නැෂනල් සුපර් ලීග් සිවුදින ක්‍රිකට්

රු. ලක්ෂ 50ක් සමඟ පිට පිට දෙවැනි වරටත් ශූරතාව ගාල්ලට

by sachintha
May 1, 2025 1:01 am 0 comment

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ නැෂනල් සුපර් ලීග් සිවුදින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට රමේෂ් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් තරග කළ ගාල්ල කණ්ඩායම ඊයේ (30) සමත් විය.

එස්එස්සී පිටියේ දඹුල්ල කණ්ඩායම සමඟ පැවති අවසන් මහ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවද පළමු ඉනිමේ ජය හිමිකර ගැනීම හේතුවෙන් ගාල්ලට ශූරතාව පිරිනැමිණි. ගාල්ල කණ්ඩායම පිට පිට ශූරතාව දිනාගත් දෙවැනි අවස්ථාව මෙය වන අතර, පසුගිය වසරේ පැවති තරගාවලියේදී මහනුවර පිල කඩුලු 7කින් පරාජය කරමින් ශූරතාව දිනාගෙන තිබිණි. මේ දෙපිල 2023 වසරේ අවසන් තරගයේදීත් හමුවූ අතර, එවර ගාල්ල අනුශූරයන් බවට පත් කරමින් දඹුල්ල ශූරතාව දිනාගෙන තිබිණි.

ගාලු කණ්ඩායමට ශූරතාව සමඟ රුපියල් ලක්ෂ 50ක ත්‍යාග මුදලක් හිමිවූ අතර, අනුශූරයන් වූ ධනංජය ද සිල්වා මෙහෙයවූ දඹුල්ල කණ්ඩායමට රුපියල් ලක්ෂ 30ක මුදලක් හිමි විය.

අවසන් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 370ක් රැස් කළ අතර, දඹුල්ල කණ්ඩායමට පිළිතුරු ලෙස රැස් කළ හැකි වූයේ ලකුණු 313ක් පමණි. ලකුණු 57ක පළමු ඉනිමේ වාසියක් සමඟ දෙවැනි ඉනිම ඇරඹූ ගාලු ක්‍රීඩකයෝ තරගය නිමා වන විට කඩුලු 5ක් දැවී 246ක් රැස් කර තිබිණි.

මේ තරගාවලියේ මූලික වටයේදී දඹුලු පිල ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වුවත් එහි තරගයකදී ගාල්ල හමුවේ ලකුණු 145කින් පරාජය වී තිබිණි.

කණ්ඩායම් 5ක් එක්වූ තරගාවලියේදී මහනුවර කණ්ඩායම තෙවැනි ස්ථානයට පත්වූ අතර, කොළඹ පිලට සිවුවැනි ස්ථානයත් යාපනය කණ්ඩායමට 5 වැනි ස්ථානයත් හිමි විය.

අවසන් තරගයේ වීරයා ලෙස ගාල්ල කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් සම්මාන දිනාගත් අතර, ඔහුට රුපියල් හත්ලක්ෂ පනස්දහසක මුදලක් හිමිවිය.

තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙස යාපනය කණ්ඩායමේ රවිඳු රසාන්ත සම්මාන දිනාගත් අතර, ඔහු ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ අබුඩාබියේ පැවැත්වෙන සිවුදින තරගයේ සංචිතයට කැඳවා තිබීම හේතුවෙන් සම්මාන ප්‍රදානයට එක් නොවිණි. මෙවර තරගාවලියේ තරග 4කදී ද්විත්ව ශතයක්, ශතක 2ක් සහ අර්ධ ශතකයක් (97) සමඟ ලකුණු 563ක් රැස් කළේය. ඔහුට රුපියල් ලක්ෂ 10ක මුදලක් හිමි විය.

දඹුල්ල කණ්ඩායමේ අකිල ධනංජය එන්එස්එල් සිවුදින තරගාවලි ඉතිහාසයේ පන්දු යවන්නකු දවාගත් ඉහළම කඩුලු සංඛ්‍යාව වාර්තා කළ අතර, මින් පෙර පසුගිය වසරේ නිශාන් පීරිස් වැඩිම කඩුලු සංඛ්‍යාව දවාගෙන තිබුණේ කඩුලු 35ක් ලෙසිනි. අකිල ද මූලික වටය නිමා වන විට කඩුලු 35ක් බිඳ දමා සිටි අතර, අවසන් තරගයේදී කඩුලු 2ක් දවා ගත්තේය. ඔහු තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා සහ තරගාවලියේ වීරයා ලෙස සම්මාන ද්විත්වයම දිනාගත් අතර, ඒ වෙනුවෙන් පිළිවෙළින් රුපියල් ලක්ෂ 10ක් සහ ලක්ෂ 14ක මුදල් ත්‍යාග පිරිනැමිණි.

ජය සංකේත ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් බන්දුල දිසානායක, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජික සහ විනිසුරු කමිටුවේ සභාපති සමන්ත දොඩන්වෙල සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජික සහ තරග සංවිධාන කමිටුවේ සභාපති නලීන් අපෝන්සු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ගාල්ල පළමු ඉනිම – 370යි. (ඕවර 96.2) ඕෂද ප්‍රනාන්දු 120, දිනේෂ් චන්දිමාල් 80 (මොහොමඩ් ශිරාස් 92/4, අකිල ධනංජය 92/2) සහ දෙවැනි ඉනිම – 246/5යි. (ඕවර 83) දිනේෂ් චන්දිමාල් 64, දුනිත් වෙල්ලාලගේ නොදැවී 59, රමේෂ් මෙන්ඩිස් නොදැවී 50 (මොහොමඩ් ශිරාස් 35/2)

දඹුල්ල පළමු ඉනිම – 313යි. (ඕවර 84.2) විෂාඩ් රන්දික 124, රොන් චන්ද්‍රගුප්ත 65 (නිම්සර අතරගල්ල 101/5, විජයකාන්ත් වියස්කාන්ත් 28/2)

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT