ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟ ඊයේ කොළඹ කෝල්ට්ස් පිටියේ පැවති තෙවැනි එක්දින තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 39කින් ජය ගැනීමට සංචාරක බංග්ලාදේශ අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමත් විය.
මේ සමඟ තරග 6කින් සමන්විත යොවුන් එක්දින තරගාවලිය 2-1ක් ලෙස පෙරමුණ ගැනීමට සංචාරකයෝ සමත් වූහ.
වර්ෂාවෙන් බාධා ඇති වීමෙන් ඕවර සංඛ්‍යාව සංශෝධනය කරමින් ඕවර 28ක් ලෙස පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය කඩුලු 2ක් දැවී ලකුණු 144ක් රැස් කළේය. ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 198ක දැවැන්ත ඉලක්කයක් හිමි වූ අතර, එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිල අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතර කරන විට ඕවර 22කදී කඩුලු 7ක් දැවී ලකුණු 120ක් රැස් කර තිබිණි. ඒ වන විට තරගයේ ජය සතුකර ගැනීමට නම් ශ්‍රී ලංකා පිල රැස් කළ ගෙන සිටිය යුතුවූ ලකුණු සංඛ්‍යාව 159කි.
කවිජ ගමගේ නොදැවී ලකුණු 32ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, මුල් පෙළ පිතිකරුවන් 5 දෙනාට ලකුණු 10 සීමාවට පිවිසීමට අවස්ථාවක් නොලැබිණි. අග පෙළ පිතිකරුවන් ලෙස රමිරු පෙරෙරා ලකුණු 21ක් සහ සනුජ නිඳුවර ලකුණු 17ක් ඉනිමට එක් කළහ.
ආරම්භයට වර්ෂාවෙන් බාධා වීම නිසා ඉනිමක් ඕවර 42කට සීමා කළ තරගයට ඕවර 26කදී යළි වාර්ෂාවෙන් බාධා විය. ඒ වන විට තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙන බංග්ලාදේශය කඩුලු 2ක් දැවී ලකුණු 130ක් රැස් කර තිබිණි. යළිත් තරගය ආරම්භ වූයේ ඉනිමක් ඕවර 28කට සීමා කරමිනි. ඒ අනුව බංග්ලාදේශය කඩුලු 2කට ලකුණු 144 රැස් කළේය.
ඉනිම නිමා වන විට නායක අසිසුල් හකීම් නොදැවී ලකුණු 67ක් රැස් කර සිටියේ පන්දු 84කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟිනි. රිසාන් හොසේන් නොදැවී ලකුණු 24ක් රැස් කර තිබිණි.
බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුල්ල ලෙස කලාම් සිද්දික් ලකුණු 6කට පිටියෙන් ඉවත් කිරීමට සනුජ නිඳුවර සමත් වුවද දෙවැනි කඩුල්ලට ලකුණු 60ක සබඳතාවක් ගොඩනැඟීමට ආරම්භක පිතිකරු සවාද් අබ්රාර් සමඟ එක්වූ නායක අසිසුල් හකීම් සමත් විය. දෙවැනි තරගයේදී ශතකයක් රැස් කළ සවාද්ගේ ඉනිම ලකුණු 38කින් නතර කිරීමට කඩුලු රකින ක්‍රීඩක දිනුර දම්සිත් සමත් වූයේ ඔහු දුවද්දී දවා ගැනීමට හසුකර ගනිමිනි.
මේ තරගයේදී කොළඹ රාජකීය විදුහලේ රෙහාන් පීරිස් සහ රමිරු පෙරේරා, වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විදුහලේ හිමාල් රවිහංස සමඟ කුරුණෑගල සාන්ත ආනා විදුහලේ සනුජ නිඳුවර ශ්‍රී ලංකාව වෙනුවෙන් අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායම වෙනුවෙන් තරග වරම් හිමිකර ගත්හ.
දෙපිල අතර සිවුවැනි එක්දින තරගය මේ 3 වැනිදා සීසීසී ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
බංග්ලාදේශ යොවුන් පිල – 144/2යි. (ඕවර 28) අසිසුල් හකීම් නොදැවී 67, සවාද් අබ්රාර් 38, රිසාන් හොසේන් නොදැවී 24 (සනුජ නිඳුවර 43/1)
ශ්‍රී ලංකා යෙවුන් පිල – 120/7 (ඕවර 22) කවිජ ගමගේ නොදැවී 32, රමිරු පෙරේරා 21 (අල් ෆහද් 17/2, අසිසුල් හකීම් 17/2)
නිරෝෂාන් ප්‍රියංකර