Home » හිරුක සහ විදාරා නුවරඑළියේදී බැඩ්මින්ටන් ශූරතා දිනති

හිරුක සහ විදාරා නුවරඑළියේදී බැඩ්මින්ටන් ශූරතා දිනති

by sachintha
May 1, 2025 1:11 am 0 comment

සමස්ත ලංකා සමර් සීසන් විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ කාන්තා හා පිරිමි ශුරතා දිනා ගැනීමට හිරුක සහන්මිත් සහ විදාරා විදානගේ සමත්වූහ. නුවරඑළියේ වසන්ත සමයට සමගාමීව නගර සභා ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ පසුගියදා පැවැති මේ තරගාවලියේ විවෘත පිරිමි ඒකල අවසන් මහා තරගයේදී තෙනුක ද සිල්වා ලකුණු 25-23ක් සහ 21-19ක් වශයෙන් පරාජය කරමින් හිරුක සහන්මිත් ශුරතාව දිනාගනිද්දී විවෘත කාන්තා ඒකල අවසන් මහා තරගයේදී නෙත්මි රත්නායක ලකුණු 21-13ක්, 18-21ක් සහ 24-22ක් ලෙස පරාජය කළ විදාරා විදානගේ පිට පිට දෙවැනි වරටත් ශූරිය බවට පත්වීමට සමත්වූවාය.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුමැතිය යටතේ පළමු මට්ටමේ ශ්‍රේණිගත කිරිමේ තරගාවලියක් ලෙස මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමය මෙහෙයවනු ලැබූ සමස්ත ලංකා සමර් සීසන් විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ විවෘත පිරිමි යුගල ශූරතාව දිනාගනු ලැබුවේ ලකුණු 21-15ක් සහ 21-19ක් ලෙස රෙසින්ත ද සිල්වා සහ තෙනුක ද සිල්වා පරාජය කළ ඔෂාමික කරුණාරත්න සහ තුලිත් පල්ලියගුරු විසිනි. ලකුණු 25-23ක්, 16-21ක් සහ 21-19ක් ලෙස සනදි ද සිල්වා සහ විදාරා විදානගේ පරාජය කළ ජාත්‍යන්තර පදක්කම් දිනූ කාන්තා බැඩ්මින්ටන් යුගලය වන ඉසුරී අත්තනායක සහ සිතුමි ද සිල්වා එක්ව විවෘත කාන්තා යුගල ශූරතාව අත්කරගත්හ. විවෘත මිශ්‍ර යුගල ශූරතාව දිනාගනු ලැබුවේ මධුක දුලාංජන සහ අනුරංගි මාස්කෝරල ලකුණු 18-21ක්, 23-21ක් සහ 21-10ක් ලෙස පරාජයට පත් කළ ඇලන් ක්‍රිස්ටන්ටෝ සහ වරංගනා ජයවර්ධන විසිනි. මේ අතර අවුරුදු 19න් පහළ කනිෂ්ඨ තරග අංශයේ බාලක ශූරතාව දිනා ගැනීමට ජනීෂ ද සිල්වා සමත්වූ අතර, එම වයස් කාණ්ඩයේ බාලිකා ශූරතාව අනුත්මි සූරියබණ්ඩාර දිනා ගත්තාය. නෙතිල් තෙව්මික සහ මනෙත් විජේගුණවර්ධන එක්ව අවුරුදු 19න් පහළ බාලක යුගල ශූරතාව දිනා ගැනීමට සමත්වූහ.

ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට මුදලින් රුපියල් ලක්ෂ 7,50,000ක් බෙදාදුන් මේ තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමයේ සභාපති මහින්ද දොඩම්පේගමගේ මහතා ද එම අවස්ථාවට එක්විය.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT