Home » වරායේ ගොඩබාන ගාණට තෙල් ටික දෙන්න විපක්ෂ නායක තලවකැලේදී කියයි
ජනතාව ඉල්ලූ කිසිම දෙයක් දෙන්න ආණ්ඩුවට බැරි වෙලා:

වරායේ ගොඩබාන ගාණට තෙල් ටික දෙන්න විපක්ෂ නායක තලවකැලේදී කියයි

by sachintha
May 2, 2025 1:20 am 0 comment

වතු හා කම්කරු ජනතාව වෙනුවෙන් ඊයෙත් අදත් හෙටත් සැබෑ ලෙසම සටන් කරන්නේ සමගි ජන බලවේගය බවත් වත්මන් ආණ්ඩුව බොරුවෙන් මුසාවෙන් මුළාවෙන් රට පාලනය කරන බව සමගි ජන බලවේගයේ නායක, සමගි ජන සන්ධානයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේගය ප්‍රමුඛ සන්ධානයේ මැයි දින රැලිය ‘ගම දිනවන සටනට කම්කරු බලය’ යන තේමාව යටතේ සමගි ජන බලවේගයේ නායක සමගි ජන සන්ධානයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) තලවකැලේ ළිඳුල නගර සභා පිටියේදී පැවැත්විණි.

එහිදී පැමිණ සිටි පිරිස අමතමින් සමගි ජන බලවේගයේ නායක, සමගි ජන සන්ධානයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

ජනාධිපතිවරණයේදී හා මහමැතිවරණයේදී බොරු කියා පොහොසත් රටක් හදනවා කිවුවත් එවැනි රටක් ජනතාවට අත්වුණේ නැහැ. මේ වන විට පිට පිටම තුන්වැනි වතාවටත් ජනතාව අනාථ කිරීමට ආණ්ඩුව සූදානම් වෙනවා.

අපි හැමෝම මේ ස්ථානයට ඒකරාශිවී සිටින්නේ වැඩ කරන ජනතාවට ගෞරව කරන්න. පුංචි මනුස්සයාට හිස නමා ආචාරය කරන්න. මොකද මේ කම්කරු ප්‍රජාව තමයි අපේ රටේ ජීවය අපේ රටේ ප්‍රාණය, අපේ රටේ ශක්තිය ඔබගේ දහඩිය කඳුළ ශ්‍රමය කැපවීම තුළින් අපේ රටේ ජීවනාලිය බවට ඔබ පත්වෙලා හමාරයි. අද යුගයේ කම්කරු අයිතීන් අහිමිවන යුගයක් අපේ රටේ අද යුගයේ ඊ.පී.එප්. එකට ඊ.ටී.එෆ්. එකට පික්පොකට් ගහන යුගයක්. පසුගිය ආණ්ඩුව අයි.එම්.එෆ්. ගිවිසුම හරහා කෙරුණු ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළ ඊ.පී.එෆ්. එක ඊ.ටී.එෆ්. එක විනාශ කරන්න කටයුතු කළා. හිටපු ජනාධිපතිවරයාගේ ඒ ප්‍රතිපත්තිය, ඒ අඩිපාරේම යමින් අනුර කුමාර ජනාධිපතිවරයාත් වැඩ කරන ජනතාවගේ පාරිතෝෂික අරමුදල්වලට පික්පොකට් ගහන යුගය එලෙසම ක්‍රියාත්මක කරනවා. වැඩ කරන ජනතාවට අපි කියන්න කැමැතියි, වතු ප්‍රජාවට අපි කියන්න කැමැතියි, කම්කරු ප්‍රජාවට අපි කියන් කැමැතියි ඔබ වෙනුවෙන් මේ මොහොතේ පමණක් නෙමෙයි හෙට දවසේත් අනාගතයේත් ඔබගේ අයිතිය වෙනුවෙන් සටන් කරන්නට අපි අනිවාර්යයෙන් කැපවෙනවා කියන එක. මේ වර්තමාන ආණ්ඩුව බොරුවෙන් මුසාවෙන් මුළාවෙන් රට පාලනය කරන්නේ. ජනාධිපතිවරණය දින්නේ බොරු කියලා. මහ මැතිවරණය දින්නේත් බොරු කියලා. අද වන විට ඒ අය පොරොන්දු වුණ පොහොසත් රට ලස්සන ජීවිතය රටේ ජනතාවට උදාවෙලා නැහැ. පිට පිටම පවත්වන තුන්වන මැතිවරණය. පළාත් පාලන මැතිවරණයේදී අලුත් බොරු මල්ලක්, අලුත් පච මාලාවක් රටේ ජනතාවට ඉදිරිපත් කරලා පිට පිටම තුන්වෙනි වතාවටත් මේ රටේ ජනතාව අනාථ කරන්නට හදන යුගයක අපි කියන්න කැමැතියි අනුර කුමාර ජනාධිපතිවරයාටත් ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවටත් එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී මේ රටේ සමස්ත පළාත් පාලන ආයතනවලින් අතිමහත් බහුතරයක් ජයග්‍රහණය කරන්නේ සමගි ජන බලවේගයයි, සමගි ජන සන්ධානයයි. අද මේ ආණ්ඩුව පොහොර සහනාධාරය ඉවත් කරන් කටයුතු කරනවා. අද වෙනකන් පොහොර සහනාධාරය දීලා නැහැ. පොහොර සහනාධාරය ලබාදෙන්නේ වී ගොවිතැනට පමණයි. ඒ සහනාධාරයවත් ලබාදෙන්නේ නැහැ. අද පොහොර මිටියක මිල වැඩිවෙලා. යූරියා වල මිල වැඩිවෙලා. පොහොර සහනාධාරය කියලා වගා ආධාරයක් ලබා දෙන්න පවා.

වන අලි මිනිස් ගැටුමට විසඳුමක් නැහැ. දේපළ හානි, ජීවිත හානි, වගා හානිවලට වන්දි ටික ලබාදෙන්නේ නැහැ. පහුගිය කාලේ ගංවතුරින් විපතට පත්වුණ ඒ වගා බිම්වලට තවමත් වන්දි දීලා නැහැ. විදුලි බිල අඩු කරනවා කිවුවා. අන්න දැන් දැන් අපිට ආරංචි වෙනවා හිටපු ජනාධිපතිවරයාගේ අයි. එම්. එෆ්.

අපිට ආරංචි වෙනවා අයි.එම්.එෆ් එකත් එක්ක සාකච්ඡා කරලා අයි.එම්.එෆ් එකට පොරොන්දුවක් දීලා තියෙනවා විස්තීර්ණ ණය පහසුකම් හතරවෙනි පියවර ලබාදෙන්නට පෙර ඡන්දය අවසන් වුණායින් පස්සේ විදුලි බිල වැඩි කරනවා කියලා. මම අහන්න කැමැතියි වේදිකාවක් වේදිකාවක් පාසා සියයට තිස්තුනකින් බිල අඩු කරනවා කිවුව නමදහසේ බිල හයදාහ කරනවා කිවුවා. තුන්දහසේ බිල දෙදාහ කරනවා කිවුවා. අපි අහන්න කැමැතියි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගෙන් ඇයි මෙච්චර බොරු කරන්නේ? ඇයි මෙච්චර රටේ ජනතාවට බොරු කරන්නේ? ඇයි මෙච්චර ජනතාව අන්දවන්නේ? රටේ ජනතාවට කියනවා එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී මේ ආණ්ඩුවට රතු එළියක් පත්තු කරන්නට සමගි ජන බලවේගය ජයග්‍රහණය කරවන්නට ඔබගේ සහය ලබා දෙන්න. වරායේ බාන මිලටම තෙල් ටික දෙනවා කිවුවා රටේ ජනතාවට. වරායේ බාන මිලටම තෙල් ටික ජනතාවට දෙන්න බැරි වුණේ ඇමැතිට කොමිස් කුට්ටියත් යනවාලු, නිලධාරීන්ට කොමිස් කුට්ටියක් ගියාලු. දූෂණය හොරකම වංචාව නිසාලු, වරායේ බාන මිලටම ඔබට තෙල් ටික ඒ මිලටම නොලැබුණේ. බදු බර තෙල්වලට දැම්ම නිසාලු ඒ විදියට ඔබට සහනයක් නොලැබුණේ. මං අහන්න කැමැතියි ජනාධිපතිවරණයත් දින්නා. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකුත් දින්නා, කෝ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පොරොන්දු වුණ වරායේ ගොඩබාන මිලටම රටේ ජනතාවට තෙල් ටික ලබා දෙනවා කියපු පොරොන්දුවට මොකක්ද වුණේ. අපි අහන්න කැමැතියි එතනත් කරන්නේ බොරුවක්, තිස්පන්දහසක් උපාධිධාරීන්ට පළමු වැනි අය වැයෙන්ම රස්සා දෙනවා කිවුවා. දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා කිවුවා. ඒ ඔක්කොම අද පචමල්ලක් බවට පත්වෙලා තිබෙනවා. අපේ ආදරණීය ලංකා වාසී ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා, මේ බොරුකාර රැවටිලිකාර පචකාර ජනතාව අන්දවන මේ ආණ්ඩුවට හොඳම හොඳ පාඩමක් උගන්වන්න මෙදා පාර සමගි ජන බලවේගයට අති විශිෂ්ට ජයග්‍රහණයක් මුළු රටෙන්ම ලබා දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. බඩු මිල අඩු කරනවා කිවුවා, පොල් ගෙඩියක් හොයා ගන්නටවත් නැහැ. කිරි පිටි මිල ඉහළ ගිහිල්ලා ජනතාවට අවශ්‍ය ලුණු ටිකවත් දෙන්න බැහැ ලැජ්ජයි. මහා ලොකුවට කියනවා උගත් බුද්ධිමත්, මහාචාර්ය, ආචාර්ය කථිකාචාර්ය උගතුන් කොට්ඨාසයක් අද රට පාලනය කරන්නේ කියලා. එහෙම කිවුවාට ජනතාව ඉල්ලන ලුණු ටිකවත් දීගන්න බැරි ආණ්ඩුවක් කියන එක මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමැතියි. මම මේ අවස්ථාවේ කියන්න කැමැතියි අද වන විට රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මිනී මරුවෝ, කුඩුකාරයෝ පාතාලකාරයෝ, මැරවරයෝ කණ්ඩායම් අද නීතිය අතට අරගෙන තියෙන්නේ. ගෙදරට ඇවිල්ලා මරනවා, කාමරයට ඇවිල්ලා මරනවා. මිදුලෙත් මරනවා, මහා පාරෙත් මරනවා, වැඩ බිමෙත් මරනවා වැඩ බිමට යන කොටත් මරනවා එනකොටත් මරනවා, උසාවි භූමියෙත් මරනවා. උසාවිය ඇතුළෙත් මරනවා, විනිසුරුවරුන්ට පේන්න මරන්නේ. මිනීමරුවන් අද නීතිය හා සාමය අතට ගෙන තිබෙනවා. අද රටේ නීතියක් නැහැ නීතිය වල් බිහිවෙලා. අද ක්‍රියාත්මක වෙන්නේ කැලෑ නීතිය. ඒ වගේම ප්‍රජා කේන්ද්‍රීය ප්‍රජා ආරක්ෂක ජනතා කේන්ද්‍රීය වැඩපිළිවෙළක් අපේ පළාත් පාලන ආයතන හරහා ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරනවා. ප්‍රදේශයේ භාර පොලීසිය, ආරක්ෂක අංශ, රටේ නීති හා සාමය සුරකිනන අංශ එකතු කරගෙන අපේ පළාත් පාලන ආයතන හරහා සෑම වසමකම සෑම ගමකම සෑම නගරයකම ආරක්ෂක කමිටු ස්ථාපනය කරලා මිනීමරු කණ්ඩායම් සමාජයේ විෂමාචාරී කණ්ඩායම් ඉවත් කරලා නැවත වරක් නීතිය හා සාමය ස්ථාපනය කිරීමට විපක්ෂය ලෙස අපිට සිදු කිරීමට හැකි දේවල් ඔබත් සමග අත්වැල් බැඳගෙන සිදු කරනවා.

ඒ වගේම එළඹෙන පළාත් පාලන මැතිවරණය අපිට බොහෝමත්ම තීරණාත්මකයි. ඒ වගේම ආණ්ඩුව වේදිකාවලදි ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට කාලය එළැඹ තිබෙනවා. ඒ වගේම සමගි ජන බලවේගය මුහුණදෙන පළමු පළාත් පාලන මැතිවරණය මෙයයි. අපි ජනාධිපතිවරණ සහ මහමැතිවරණ සිදු කළේ දුරකතන ලාංඡනයෙන් බිහිවුණ පළාත් සභා පළාත් පාලන මන්ත්‍රීවරුන් නැතිවයි. නමුත් මැයි හයවැනිදා අපි සුබ මොහොතින් සුබ නැකතින් ගම දිනවන රට දින වන ගමේ ආණ්ඩුව නගරයේ ආණ්ඩුව සමගි ජන බලවේගය ජයග්‍රහණය කරන බව මම ප්‍රකාශ කරනවා.

සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා-

සමහරු අහනවා කොළඹ මැයි දිනයක් කරන්නේ නැතිව ඇයි තලවකැලේට ආවේ කියලා. ඒ වෙන මොකුත් නොවෙයි. අපේ රටේ වැඩ කරන ජනතාව අතරින් වැඩියෙන්ම තමන්ගේ ශ්‍රමය මේ රටට ඩොලර් ගේන්න උපයන පිරිස ඉන්නේ මේ කඳුකරයේ. අන්න ඒකට කරන ගෞරවයක් විදියට තමයි අපි කඳුකරයේ ජනතාවත් ඒකරාශි කරගෙන අද අපි තලවකැලේ මේ මහා මැයි දින රැළිය කරන්නේ. නැතිව කොළඹට ගේන්න බැරිව නොවෙයි. අපි දන්නවා අද ජනතා විමුක්ති පෙරමුණ මොනවා වුණත් එකක් කියන්න ඕනෑ, එක ගෞරවයක් දෙන්න ඕනෑ. අර පැනලා ගිය ගෝඨාභය රාජපක්ෂ එක හොඳ වැඩක් කළා. ඒ තමයි අර කොළඹ ගෝල්ෆේස් පිටිය කිසිම දේශපාලන කටයුත්තකට යොදාගන්න එපා කියලා නියෝගයක් නිකුත් කරලා තිබුණා. ඔය ගොල්ෆේස් පිටිය 2020දී අපිත් පිරෙව්වා, පොහොට්ටුවත් පිරෙවුවා. ජේ.වී.පී. එකත් පිරෙවුවා. හැබැයි ජේ.වී.පී එකට සියයට තුනයි, අපි පරාදයි පොහොට්ටුව දිනුම්. අද ගෝඨාභය රාජපක්ෂ ගත් වැදගත් තීන්දුව තීරණය නිසා ලස්සනට තිබෙන ගෝල්ෆේස් ග්‍රවුන්ඩ් එක නැවත ඒ තීන්දුව රිවස් කරලා අනුර කුමාර දිසානායක තමන්ගේ මැයි දිනය පවත්වන්න කෝටි ගණක මුදල් වියදම් කරලා එතන දාගෙන තියෙනවා. අපි එකක් කියනවා. ඔයා ඔය ගොල්ෆේස් පිටිය අද පුරවන්න හැබැයි රටේ ජනතාව මැයි හයවැනිදාට ඡන්ද පෙට්ටිය පුරවන්නේ ටෙලිෆෝන් එකෙන් කියලා බොහොම වැදගත් පණිවිඩයක් අපි දෙන්න කැමැතියි. ඔයාලා ගොල්ෆේස් පිටිය 2020ත් පිරෙවුවා පරාදයි ඔයාගොල්ලො, 2025ත් ගොල්ෆේස් පිටිය පුරවනවා හැබැයි මැතිවරණ ප්‍රතිඵලය හයවැනිදා අනුර කුමාර ඇතුළු කණ්ඩායමට හිතසුව නැහැ. පළාත් පාලන ආයතන තුන්සිය ගාණකින් එකසිය පනහකට වැඩි ගණනක සභාපතිවරු පිහිටුවන්නේ වෙන කවුරුත් නොවෙයි සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගිජන සන්ධානය ටෙලිෆොන් එක ලකුණින් කියන එක මතක් කරන්න කැමැතියි. මේ පාර මාලිමාවට කියලා ඒ පාරේ දැන් ජනතාව යනවා මාස හතක්. දැන් ඒ පාර මාලිමාවට දීලා ඒ පාරේ යන ජනතාවට මොනවාද හම්බුවෙන්නේ. අනේ ඒ පාරේ යන ජනතාවට හම්බුවෙන්නේ බොරු වළවල්. මාස හතට බොරු වළවල් කීයක් හම්බුණාද? මාස හතට බොරු වළවල් ගණනාවක් හම්බුණා. ඒ නිසා මාස හතේ බොරු වළවල්වල වැටුණු ජනතාව ලෑස්ති වෙලා ඉන්නවා මේ මැයි මාසේ හය වෙනිදාට අනුර කුමාර දිසානායකටත් මාලිමාවටත් හොඳ පණිවිඩයක් දීලා මේ පාර සමගි ජන බලවේගයේ දුරකතනයටයි ඡන්දය දෙන්න ඒකයි හරි පාර.

සමගි වතු සේවක සංගමයේ සභාපති ලංකා වතු සේවක සංගමයේ උප සභාපති කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා-

මේ රටේ වැඩ කරන ජනතාව ඉන්නවා නම්, මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න වැඩකටයුතු කරන පිරිසක් ඉන්නවා නම් ඒ මේ වතු කම්කරු ජනතාවයි. ඒ නිසා ඔවුන්ට ගෞරවයක් හැටියට අපි තලවකැලේ මේ සැරේ මැයි දිනය පවත්වමු කියලා අපේ නායකතුමා තීරණය කළා. මීට මාස හයකට ඉස්සෙල්ලා මේ රටේ බහුතර ජනතාවත් වතුකම්කරු ජනතාවගෙන් කොටසකුත් තරුණ පිරිසත් කල්පනා කෙරුවා මේ රටේ පැහැදිලි වෙනසක් කරන්න ඕනෑ, ඒ නිසා එදා ජනාධිපතිවරණය වේලාවේදී ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අනුර කුමාර දිසානායක මහත්තයා මේ රටේ ජනතාවට අති විශාල පොරොන්දු රාශියක් දුන්නා. වතු කම්කරු ජනතාවටත් ඒ වගේම පොරොන්දු රාශියක් දුන්නා. ඒ පොරොන්දු දීලා තමයි මේ රටේ ජනාධිපති වුණේත්, තුනෙන් දෙකේ බලයක් ගත්තෙත්. මම අහන්න කැමැතියි දැන් ආණ්ඩුව ඇවිල්ලා මාස හතයි. දැන් ආණ්ඩුව කියපු දේවල් කිසිදෙයක් කරලා නැහැ. මම හිතන්නේ මේ වගේ බොරු කියපු ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ ඇවිල්ලා නැහැ. මුළු රටේ ජනතාවම රවට්ටන්න තමයි අනුර කුමාර දිසානායක මහතා කටයුතු කෙරුවේ.

සමගි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්, සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික සුභාෂ් කරුණාරත්න මහතා-

කෙටි මතක් කිරීමක් කරන්න කැමැතියි ලෝක කම්කරු දිනය ඇති වුණේ 1886 වසරේදී අමෙරිකාවේ චිකාගෝ නගරයේ හේග් මාකට්හී ඒ චතුරශ්‍රයේදී පැය අටක වැඩ මුරයක් ඉල්ලලා සටන් වැදුණු උද්ඝෝෂණය කරපු කණ්ඩායමකට ඒ සේවකයන්ට පොලීසිය යොදවා කරන ලද ප්‍රහාරයක් තුළින් ඒ අය කිහිපදෙනෙක් මරුමුවට පත්වෙලා ඔවුන් රැගෙන ආපු ඔවුන්ගේ අතේ තිබුණු සුදු කොඩි රතු පැහැගන්වපු තත්තවයට පත්වෙච්ච අවස්ථාවක් නිර්මාණය කෙරිලා. ඒ තුළින් ඇති වෙච්ච ප්‍රතිඵලයක් හැටියට තමයි අද තමුන්නාන්සේලා අපි මේ භුක්ති විඳින ලද පැය අටක රාජකාරි කාලය අපිට ලැබුණේ. ඒ දිනය මැයි පළමු වැනිදා හැටියට 1890දී ලන්ඩන් නුවර සේවකයින් පිරිසක් එකතු වෙලා සමරනු ලැබුවා. ඉන් පස්සේ ලෝකයේ අනෙකුත් රටවල් එය අනුගමනය කරමින් මැයි පළමු වැනිදා කම්කරු දිනය පවත්වන්න යෙදිලා ක්‍රමානුකූලව ලෝක කම්කරු දිනය බවට පත් වුණා. 1933දී ලංකාවේ කම්කරු නායක ලෙස විරුදාවලිය ලත් ඒ.ඊ.ගුණසිංහ මැතිතුමා දැන් ඒ.ඊ. ගුණසිංහ නමින් නම්කර තිබෙන ක්‍රීඩාංගණයේදී ප්‍රථම මැයි දින රැලිය පවත්වනු ලැබුවා. ඒ විදියට කම්කරු දිනය සමරන්න මැයි පළමු වැනිදා දිනය යොදා ගනු ලැබුවේ. ඒ අරගලයත් තුළින් ජීවිත හානි තුළින් ලේ වැගිරීම් තුළින් ලබා ගත්තාවූ කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් අද අපි තවමත් භුක්තිවිඳිනවා.

කම්කරු ජාතික පෙරමුණේ නායක, දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ උප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් ,කඳුරට ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාධා ක්‍රිෂ්ණන් යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.

මහා සංඝරත්නය, අන්‍යාගමික පූජකතුමන්ලා, සමගි ජන බලවේගයේ, සමගි ජන සන්ධානයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, සමගි වනිතා බලවේගයේ ලේකම් චමින්ද්‍රානි කිරිඇල්ල යන මහත්ම මහත්මීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් , ආසන සංවිධායකවරුන්, පක්ෂයේ අනෙකුත් නායකයන්, පක්ෂ සාමාජික සාමාජිකාවන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

රක්ෂණ ශ්‍රියන්ත,

තලවකැලේ සමූහ – ටී. තිරුකේතීස් සහ නෝර්වුඩ් සමූහ – රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT