Home » ලූනු බිකත් ඉල්ලන වර්ගයේ අරගල එපා / වෘත්තීය සමිති පැරණි ඇඳුම් ඉවතලා අලුත් ඇඳුම් ඇඳගත යුතුයි
ආණ්ඩුව වැටෙන කතා වැල් බයිලා

ලූනු බිකත් ඉල්ලන වර්ගයේ අරගල එපා / වෘත්තීය සමිති පැරණි ඇඳුම් ඉවතලා අලුත් ඇඳුම් ඇඳගත යුතුයි

 -ජනපති අනුර මැයි රැලියේදී කියයි

by sachintha
May 2, 2025 1:24 am 0 comment

මේ සෙනඟ දැක්කහම බලය ගන්න බලන් ඉන්න අයට මොනවා හිතෙයිද – අගමැතිනි හරිනි අමරසූරිය

වසර හැට පහක් මුළුල්ලේ එක් අරමුණක් වෙනුවෙන් අතිශය අභියෝග හමුවේ බලය ලබා ගැනීම අතික්‍රමණය කළ තම දේශපාලන ව්‍යාපාරය සහතික වශයෙන්ම මේ රට ගොඩ නැඟීම සහ ජනතාවගේ වුවමනාවන් ඉටු කිරීමේ අභියෝගය ද ජයග්‍රහණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

අද රට පාලනය කරන්නේ රට ගොඩ නඟමින් ඉදිරියට ගෙන යාමට සූදානම් ව්‍යාපාරයක් බවත්, එහිදී මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරයටද පැරණි ඇඳුම් ඉවතලා අලුත් ඇඳුම් ඇඳ ගැනීමේ කාලය උදා වී තිබෙන බවත් පැවසු ජනාධිපතිවරයා රට ගොඩ නැඟීමේ ව්‍යායාමය සාර්ථක කර ගැනීමට ආණ්ඩුවත් සමඟ එක්වන ලෙස සියලු වෘත්තිය සමිති ව්‍යාපාරවලට ආරාධනා කරන බවද පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ඊයේ (01) පස්වරුවේ ගාලු මුවදොර පිටියේ පැවති ජාතික ජන බලවේගයේ මැයි දින රැලිය අමතමිනි.

“රට හදන ජන බලය පෙළ ගැසෙන මැයි රැලිය” යන තේමාව යටතේ පැවති මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ. මෙම අවස්ථාවට සහභාගි වූ චීන, ඉන්දීය, වියට්නාම් රටවල කොමියුනිස්ට් නියෝජිතයන් ද අදහස් දැක්වූ අතර ඔවුන් සියලු දෙනා ජාතික ජන බලවේගයේ මෙම මැයි රැලියට සුබපැතුම් එක් කළේය. එමෙන්ම එක්සත් වාමාංශික බලවේගයේ ලේකම් පියල් රාජකරුණා, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ, එමෙන්ම එම රටවල් හා ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්ව වත්මන් රජය යටතේ ද පවත්වාගෙන යන බව ප්‍රකාශ කළහ. ඉදිරි කැබිනට් හමුවට පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවිම් පිළිබඳව කෙටුම්පත ඉදිරිපත් වන බවද මෙහිදී අනාවරණය විය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ අද දේශපාලන ව්‍යාපාරයක් ලෙස පවතින්නේ ජාතික ජන බලවේගය පමණක් බවත් මේ රටේ අනාගතය සහ ජනතාවගේ අනාගතය මුළුමනින්ම රඳා පවතින්නේ ජාතික ජන බලවේගය අත බව සියලු දෙනා අවබෝධ කරගත යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා –

අපි දීර්ඝ කාලයක් මැයි දිනය සමරා තිබෙනවා. ඒ සෑම අවස්ථාවකම අපේ අපේක්ෂාව බවට පත් වුණේ බලය අත්පත් කර ගැනීම සඳහා ජනතාව පෙළ ගැස්වීමයි. අද අප පළමු වතාවට බලය අත්පත් කර ගෙන මේ රට ගොඩ නැඟීම සඳහා ජනතාව පෙළ ගස්වන මහා රැලිය පවත්වනවා.

අද දේශපාලන ව්‍යාපාරයක් ලෙස පවතින්නේ ජාතික ජන බලවේගය පමණයි. මේ රටේ අනාගතය, මේ රටේ ජනතාවගේ අනාගතය මුළු මනින්ම රදා පවතින්නේ ජාතික ජන බලවේගය අත බව අපි සියලු දෙනා තේරුම්ගත යුතුයි.

ඒ වගේම තමන් බලය හොබවන විට මහජනතාවගේ ධනය නාස්ති කරමින් අති වරප්‍රසාද සහිත ජීවිතයක් ඔවුන් ගතකළා. පොදු නීතියට යටත් නොවන ජීවිතයක් ගතකළා. පොදු ජනයාට ඉහළින් මහා බල පරාක්‍රමයක් යොදා ගෙන බලය හෙබවූවා. නමුත් අද පොදු නීතියට ඔවුන් යටත් වී තිබෙන අතර වරප්‍රසාද අහිමි වී තිබෙනවා. නීතිය සමානව ක්‍රියාත්මක වී තිබෙනවා. එබැවින් ඔවුන්ට දුකක් ඇති වී තිබෙනවා. ඒ නිසා වේදනාවේ අඳෝනාව ඇති වී තිබෙනවා.

තවත් පැත්තකින් වංචා සහ දූෂණ සිදු කළ ප්‍රමාණය ඔවුන් අපට වඩා හොඳින් දන්නවා. ඒ වගේම ඔවුන් දන්නවා අපි කවුද කියලා. ඔවුන් ඔවුන්ගේ අපරාධයේ ප්‍රමාණය දන්නා තරමට අපිව හඳුනනවා. ඒ නිසා භීතියේ අඳෝනාව තිබෙනවා. ඒ නිසා අද දේශපාලනයේ අනෙක් පස තිබෙන්නේ අපේක්ෂා භංගත්වයේ වේදනාව, වරප්‍රසාද අහිමී වීමේ අඳෝනාව සහ භීතියේ තැතිගැන්මයි. ඒ නිසා තවදුරටත් දේශපාලන ව්‍යාපාර නැහැ. දෘෂ්ටිවාදයක් සහ සංවිධාන ශක්තියක් නැහැ. කරන්නේ කුමක්ද කියා නොදන්න එහෙ මෙහෙ විසිරුණු කොටස්වල එකතුවක් පමණයි තිබෙන්නේ.

ඒ නිසා තවදුරටත් අපෙන් එළියේ අභියෝගයක් නැහැ. අද අපෙන් එළියේ තිබෙන්නේ සුන් බුන් ගොඩක එකතුවක් මිස අභියෝගයක් නොවෙයි. එසේනම් අභියෝගය තිබෙන්නේ අපට අප තුළමයි. එම අභියෝගය පියමං කිරීම සඳහා අපි අප තුළම තිබෙන ප්‍රතිවිරෝධතා, නොගැළැපීම් සහ අලුත් තත්ත්වයන්ට අනුව අනුරූපිවීමට අසමත් වීම් පිළිබඳ තත්ත්වයන් අවබෝධ කරගත යුතුයි.

වසර හැට පහක් පුරා එකම අරමුණකට කැපවීමේ උරුමය අපට තිබෙනවා. එවන් ව්‍යාපාරයක් තමයි අද මෙතැනට එක් රැස් වී තිබෙන්නේ. අතිශය පරාජයන් සහ අභියෝගයන් මැද සමීපතමයන් අතහැර යාම පමණක් නොව එරෙහිව ව්‍යාපාර ගොඩනැඟීම් මැද ඒත් අත්නොහැර සිටි අරමුණක් අපට තිබෙනවා. ඒ නිසා අපි අරමුණක් වෙනුවෙන් උරුමය කර තබාගෙන යන කණ්ඩායමක්. ඇතැම් විට අපි පුරුද්දේ බලයට වැඩ කළා. ඈත ඉලක්ක, සමීප අභියෝගයන් අප ඉදිරියේ ඉතා ව්‍යාකූල තතත්වයන් හමුවේ අපි වැඩ කළා. ඇතැම්විට පුරුද්දේ බලය අපිට වැඩ කිරීමට පොලඹවනු ලැබුවා. දැන් ඒ සියල්ල පසු කර පසුගිය සැප්තැම්බර් 21 වනදා අපේ අතට බලය ලබා ගැනීමට අපි සමත් වුණා. දැන් තවදුරටත් අපට තිබෙන්නේ පුරුද්දේ බලය නොවෙයි, විශ්වාසයේ බලයයි.

මේ රට ගොඩනැඟිය හැකියි කියා අපි විශ්වාස කරනවා. මේ රටේ ජනතාව අප කෙරෙහි බලාපොරොත්තු තබා තිබෙනවා. දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපි සහ පොදු ජනතාව එකම අරමුණක් වෙනුවෙන් වැඩ කිරීම සඳහා පෙළඹී තිබෙනවා. ඒ නිසා ව්‍යවස්ථානුකූලව පැවරෙන බලය ඉක්මවා යන පාර්ලිමේන්තුවෙන් අපට ලැබී තිබෙන බලය ඉක්මවා යන විශ්වාසයේ බලය අප සතුව තිබෙනවා.

වසර 65ක් එක් අරමුණක් වෙනුවෙන් අතිශය අභියෝග හමුවේ බලය ලබා ගැනීම අතික්‍රමණය කළා නම් මේ රට ගොඩනැඟීම සහ ජනතාවගේ වුවමනාවන් ඉටු කිරීමත් සහතික වශයෙන්ම ඉටු කරනවා කියන විශ්වාසයේ බලය සමග තමයි අප මීට අවතීර්ණ වී තිබෙන්නේ. ඒ නිසා අපි විශාල විශ්වාසයකින් යුතුව මේ කාර්යයට උර දී තිබෙනවා.

අප හමුවේ තිබෙන යථාර්ථයේ ස්වභාවය අපි අවබෝධකර ගතයුතුයි. අප හමුවේ තිබෙන්නේ ඉතා කටුක යථාර්ථයක්. පතුලටම කඩා වැටුණු ආර්ථිකය, ඒ වගේම අනෙකා පිළිබඳ සහකම්පනය බිද වැටුණු සමාජය, නීතිය එකිනොකට අවශ්‍ය ආකාරයෙන් මෙහෙයවමින් තිබු සමාජයක්, බිඳ වැටුණු ආයතන පද්ධතින්, සමාජ වගකීම් පිළිබඳව සෑම පුරවැසියා තුළම අපේක්ෂා භංගත්වයක් ඇති වූ සමාජයක් අපේ රටේ පැවතියා. අප ඉදිරියේ තිබෙන කටුක යථාර්ථය අපි තේරුම් ගතයුතුයි. එහෙත් සමාජ යුක්තිය සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් අපි පොර බදිනවා. එය අත නොහරින පොරබැදීමක් වෙනවා. නමුත් අපි දන්නවා එය විධිමත්ව වියන ලද වියමනක්.

සමාජ යුක්තිය නිර්මාණය කිරීම සහ සමාජ සාධාරණත්වය නිර්මාණය කිරීම රාත්‍රියකින්, දෙකකින් කළ හැකි දෙයක් නොවෙයි. නමුත් මේ සමාජ සාධාරණත්වය සහ සමාජ යුක්තිය වෙනුවෙන් අප ඉතාමත් විධිමත් වියමනයක් වියනවා.

වසර 76ක් විනාශයේ පතුලමට ඇද දමා මාස හයෙන් ප්‍රතිඵල අපේක්ෂා නොකළ යුතුයි. අතිශය කටුක යථාර්ථය අප තේරුම්ගෙන තිබෙනවා. වඩා සුබවාදී අනාගතයක් නිර්මාණය කිරීම ඉතා සැලසුම්සහගත වියමනක්. අප එම වියමන ඉතාමත් ශක්තිමත්ව නැවත නැවත සමාලෝචනය කරමින් සාර්ථකව වියන බවට මම මේ රටේ ජනතාවට සහතික වෙනවා. කටුක යථාර්ථය අලුත් මාවතක් දක්වා පරිවර්තනය කිරීමේදී කෙටි මාර්ග නැහැ. මෙය ඉතා විධිමත් සැලසුම් සහගත ව්‍යායාමයක්. ජාතික ජන බලවේගයේ අපි ජනතාවගේ අපේක්ෂාවන් සහ ජනතාව අප කෙරෙහි තබා ඇති විශ්වාසයේ බර හොදින් අවබෝධ කරගෙන තිබෙනවා. ඒ නිසා අපි ඉතාමත් විධිමත්ව සැලසුම් සහගතව මෙම විනාශකාරී සමාජය ඉතා තියුණු සමාජ ආකල්පවලින් සහ ආර්ථිකයකින් හෙබි සමාජයක් බවට පරිවර්තනය කිරීම සඳහා වූ ගමන ආරම්භ කර තිබෙනවා.

අපට තිබුණේ අත්තිවාරමක් නැති රටක්. කුඹ ගහ කැඩුණු නෞකාවක් වගේ පාවි පාවී තිබූ රටක්. ඉලක්කයක් සහ අරමුණක් නැති රටක් සහ සමාජයක්. අප මෙය විධිමත්ව වෙනස් කිරීමට නම් පළමුව ශක්තිමත් අත්තිවාරමක් නිර්මාණය කළ යුතුයි. ඒ නිසා ගෙවුණු කාලය ඇතුළත මෙම ශක්තිමත් අත්තිවාරම නිර්මාණය කිරීම සඳහා උපරිම ප්‍රයත්න දරමින් තිබෙනවා.

මෙම අත්තිවාරමේ ප්‍රධාන කුලුනු අතර පළමුවැන්න අදූෂිත දේශපාලනයයි. වසර 76කට පසු අද ලංකාවේ අදූෂිත දේශපාලනයක් බිහිවී තිබෙනවා. මහජනතාවගේ රුපියලක් සොරකම් කරන්නේ නැති, නාස්ති කරන්නේ නැති දේශපාලනයක් බිහි වී තිබෙනවා. ඒ වගේම මෙම ශක්තිමත් අත්තිවාරම වෙනුවෙන් අපට ජාතික සමගිය අවශ්‍යයි. පසුගිය මහමැතිවරණයේදී අපටත් වඩා ඉදිරියට පැමිණ ජනතාව එම පියවර තබා තිබෙනවා. උතුරේ ජනතාව, නැඟෙනහිර ජනතාව ජාතික ජන බලවේගය කෙරෙහි විශාල විශ්වාසයක් තබා අපටත් වඩා ඉදිරි පියවරක් තැබුවා. අපි උතුර සහ නැඟෙනහිර සමඟ දේශපාලන කර තිබෙන්නේ ඉතා අඩුවෙන්. අපේ සන්නිවේදනය ප්‍රධාන වශයෙන් සිංහල භාෂාවයි.

නමුත් එම ජනතාව උතුරේ පාරම්පරික දේශපාලන ව්‍යාපාර සහ නායකයන් ප්‍රතික්ෂේප කර අප කෙරෙහි විශ්වාස තැබීමෙන් පෙන්නුම් කරන්නේ ජාතික සමගියේ අවශ්‍යතාවයයි. අපි එම ජනතාවට කිසිසේත් ආපසු හැරීමට ඉඩ දෙන්නේ නැහැ. ඔවුන්ගේ සංස්කෘතියේ, භාෂාවේ සහ පාරම්පරික ඉඩම්වල අයිතිවාසිකම් මෙන්ම ඔවුන්ට මේ රටේ පුරවැසියන් ලෙස ජීවත්වීමේ අයිතිවාසිකම් අපි තහවුරු කරනවා. එය රට ගොඩනැඟීමේ දෙවැනි කුලුනයි.

ඒ වගේම අපට ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් අපි රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටප වැඩි කර තිබෙනවා. රාජ්‍ය සේවය ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කරනවා. ඒ වගේම රාජ්‍ය සේවය පුරා ඔඩු දුවා තිබෙන නොසැලකිලිමත්භාවය සහ අකාර්යක්ෂමතාව ඉවත් කිරීම සඳහා ජාතික ජන බලවේගය ආණ්ඩුව කටයුතු කරනවා.

නීතියේ විධානයේ ආධිපත්‍යය යළි තහවුරු කිරීමට අපි කටයුතු කර තිබෙනවා. සැමට නීතිය එක ලෙස ක්‍රියාත්මක වීමේ දේශපාලන පරිවර්තනයක් ලංකාවේ පළමු වතාවට සිදුව තිබෙනවා. නමුත් පැරණි රට කියා හිතාගෙන එක එක අය විවිධ කතන්දර කියන්න පටන් ගෙන තිබෙනවා.

නමුත් මේක අලුත් රටක්. නීතියට හැම කෙනාම යටයි. නීතිය ඉදිරියේ හැමකෙනාම සමානයි. කවුරු හරි හිතාගෙන හිටියා නම් නීතිපති දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව පහළ පන්තියේ මිනිසුන්ට පමණක් තළන පෙළන ආයතන කියා ඒ පැරණි යුගයයි. අපි නව යුගයක් නිර්මාණය කර තිබෙනවා. නීතිය හැම කෙනාටම සමාන රටක් අපි නිර්මාණය කර තිබෙනවා.

එපමණක් නොවෙයි, ඒ නව පරිවර්තනය නීති මඟින් ආයතන ශක්තිමත් කිරීම මඟින් පමණක් නොව, ප්‍රායෝගිකවත් අපි ඔප්පු කරනවා. අපරාධ දූෂණ සිදු කළ කාලය කවදා වුවද දඬුවම් ලැබෙනවා යන සංඥාව ලබා දෙන ආණ්ඩුවක් ජාතික ජන බලවේගය ආණ්ඩුව ගොඩනඟා තිබෙනවා. නීතිය ඉදිරියේ සියලු දෙනා බිය විය යුතුයි. නීතියට යටත් විය යුතුයි. එය තමයි සමාජයක් ගොඩනැඟීමට තිබෙන මාවත. අප එම මාවත ගොඩනඟා තිබෙනවා.

ඒ වගේම අපේ රට ජාත්‍යන්තරය ඉදිරියේ කළු රටක් ලෙස පරිවර්තනය වී තිබුණා. අපි ඉතාමක් ශක්තිමත් ලෙස ක්‍රමානුකූලව පියවරෙන් පියවර ජාත්‍යන්තර ප්‍රශංසාවට භාජනය වෙනවා. ජාත්‍යන්තරය ඉදිරියේ ඍජුව අපේ ස්වෛරීභාවය සහ රට ප්‍රමුඛ කොට ගෙන කටයුතු කළ හැකි ආණ්ඩුවක් අපි හදලා තිබෙනවා. ඒ නිසා තමයි ජපන් රජය, චීන රජය නතර කළ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට කටයුතු කරනු ලැබුවේ. අපි ඉතාමත් ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගිතා අත්තිවාරමක් දමා තිබෙනවා.

මේ ශක්තිමත් අත්තිවාරම මත අප ඉතාමත් ශක්තිමත් ගොඩනැඟිල්ලක් ඉදි කරනවා. එහි සමානාත්මතාවය, යුක්තිය පිළිබඳ පණිවිඩය, සමාජ සහකම්පනය, සමාජයේ බැඳීම, එකිනෙකාට ගෞරව කිරීම, අත්පත් කර ගන්නා ආර්ථික සමෘද්ධිය, පිරිසිදු රාජ්‍යයක්, පරිසර පද්ධතිය රැක ගත යුතු ලෙස සලකන සමාජයක්, ගෙදර ඇති කරන සුරතලාට පවා ආදරය ළෙන්ගතුකම ලබා දෙන සමාජයක් තිබෙනවා. එවන් සමාජයක් අපි නිර්මාණය කළ යුතුයි.

දේශපාලන අධිකාරය ලෙස අපට විශාල කාර්‍යභාරයක් තිබෙනවා. අපි අපේ කාර්‍යභාරය හඳුනාගෙන තිබෙනවා. අපේ සීමා මායිම් හඳුනාගෙන තිබෙනවා. හැකියාවන් හා දුබලතාවයන් හඳුනාගෙන තිබෙනවා. අපට නොහැකි දේ හැකි අයගෙන් අපි උකහා ගන්නවා. ඒ අනුව වංචාවෙන්, දූෂණයෙන්, නාස්තියෙන් තොර දේශපාලනයක් වෙනුවෙන් අපි කැප වෙනවා. මේ අත්තිවාරම මත ගොඩනැඟිල්ල හදන්න නම් ඉතාමත් හොඳ දේශපාලන පරිවර්තනයක් අවශ්‍යයි. එම දේශපාලන පරිවර්තනයට අපි නායකත්වය දෙනවා. අපි එය ඉටු කරනවා.

ඒ වගේම අපේ කර්මාන්තකරුවන්ට හා ව්‍යවසායකයන්ට අපි ආරාධනා කරනවා, ඔබ ආයෝජනය කරන්න. ඒ සඳහා අවශ්‍ය පහසුකම්, ගැටලු කියන්න. සියල්ල අපි ලබා දෙන්නම්. කොළඹ නගරයේ අපි සැලසුම් සකස් කර තිබෙනවා. වාණිජ වශයෙන් වටිනාකම් තිබෙන හිස් බිම්, මුඩු බිම් කිසිවක් අපේ පළමු කාලය තුළ ඉතිරි වීමට අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ සියල්ල අපේ රටේ සංවර්ධනය වෙනුවෙන් යොදවනවා.

විශේෂයෙන්ම අපේ වෘත්තීය සමිති ව්‍යාපාරය පැරණි ආකල්ප අත්හැරිය යුතුයි. ලූනු බිකත් ඉල්ලා සටන් කරන කාලය අවසන් කරන්න. ලූනු බිකටත් පොරබදන කාලය අවසන් කරන්න. සියල්ල අත්හරින දේශපාලන අධිකාරයක් පැමිණ තිබෙනවා. පනත්වලින්, ගැසට්වලින්, රෙගුලාසිවලින් ලබා දී තිබෙන බොහෝ දේ අප අත්හරිනවා.

අප ඔබ සමඟ වැඩ කර තිබෙනවා. ඔබේ අපේක්ෂාවන් අපි දන්නවා. එසේ නොදන්නවා නම් අපි ඔබගේ මූලික වැටුප වැඩි කරන්නේ නෑ. ඔබගේ හීන් කෙඳිරියක්වත් නැතුව මූලික වැටුප, ආපදා දීමනා වැඩි කළා. ආපදා ණය වැඩි කළා. ඔබගේ කිසිදු ඉල්ලීමකින් තොරව වැටුප් වර්ධන ඉහළ දැමුවා. ඔබට ලබා දෙන අතිකාල දීමනාව වැඩි කළා. නමුත් පුංචි වාක්‍යයක එල්ලී සටන් කරන්න සූදානම් වෙන්න එපා. එය යුක්තිසහගත නැහැ.

අද පැමිණ තිබෙන්නේ රට ගොඩනැඟීම සඳහා මැදිහත් වන රට ඉදිරියට ගෙන යාමට සූදානම් ව්‍යාපාරයක්. එහිදී අපේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය පැරණි ඇඳුම් ඉවතලා අලුත් ඇඳුම් ඇඳ ගැනීමේ කාලය උදා වී තිබෙනවා. අද ඉන්නේ රාජ්‍ය සේවය ශක්තිමත් කළ යුතු බව විශ්වාස කරන දේශපාලන ව්‍යාපාරයක්. මේ රට ගොඩනැඟීමට ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍ය බව විශ්වාස කරන දේශපාලන ව්‍යාපාරයක්. අද ඉන්නේ ශක්තිමත් රාජ්‍ය සේවයක් සඳහා හැකියාව, ධාරිතාව ඇති කණ්ඩායම් ලබාගත යුතුයි කියන විශ්වාසය තිබෙන දේශපාලන ව්‍යාපාරයක්. ඒ වගේම තමන්ගේ උසස් වීම, තමන්ගේ අනාගතය දේශපාලනය මත නොව තමන්ගේ හැකියාව හා දක්ෂතාවය මත ලබා දිය යුතු බව විශ්වාස කරන දේශපාලන ව්‍යාපාරයක්.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය-

මෙතන සිටින සෙනඟ දිහා බලන විට අගෝස්තු මාසයේ හෝ දෙසැම්බර් මාසයේ ජනාධිපති වෙන්න බලාපොරොත්තු වෙන අයට මොනවා හිතෙනවා ඇද්ද?

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා –

ජාතික ජන බලවේගයට තිබෙන ජනතා සහයෝගය මෙම ගෝල්ෆේස් පිටිය වෙත පැමිණ සිටින ජනතාවගෙන් පෙනෙනවා.

මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය, අන්‍ය ආගමික පූජකවරුන්, මැති ඇමැතිවරුන් ඇතුළු ජාතික ජන බලවේගයේ සාමාජිත සාමාජිකාවන් විශාල පිරිසක් සහභාගි වූහ.

ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ, කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග ඇමැති ලාල්කාන්ත, ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමැති මුනීර් මුලාෆර්, සමාජවාදී කාන්තා සංගමයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්ම මහත්මීහු කතා කළය.

උපාලි කරුණාරත්න සහ චමීර ඇල්ලදෙණිය

ඡායාරූප – රුක්මාල් ගමගේ, සුලෝචන ගමගේ, චන්න ජයවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT