Home » මාර්තු මාසයේ විදේශ අංශය ශක්තිමත්

මාර්තු මාසයේ විදේශ අංශය ශක්තිමත්

- ශ්‍රී ලංකා මහ බැංකුව කියයි

by sachintha
May 2, 2025 1:18 am 0 comment

වසර 2024 මාර්තු මාසයට සාපේක්ෂව මේ වසරේ මාර්තු මාසයේදී අපනයන ආදායම් සහ ආනයන වියදම් යන දෙකෙහිම වැඩිවීමක් වාර්තා කරමින් විදේශ අංශ ක්‍රියාකාරිත්වය යහපත් තත්ත්වයකට පත්ව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

වසර 2025 මාර්තු මාසයේදී අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1242ක් වූ අතර එය පෙර කාලයට සාපේක්ෂව 8.1%ක වර්ධනයකි. ආනයන වියදම් එක්සත් ජනපද ඩොලර් මිලියන 1637කි. එහි වර්ධනය පෙර වසරට සාපේක්ෂව 8.6%කි. මේ ආකාරයට ආර්ථික යහපත් මට්ටමකින් ලබා ගනිමින් වසර 2025 මාර්තු වන විට අඛණ්ඩව තුන්වැනි මාසයටත් ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා කළ බව ද මහ බැංකුව කියයි.

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ අංශයේ ක්‍රියාකාරිත්වය ශක්තිමත්ව ගමන් කරන අතර ප්‍රධාන වශයෙන් විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් වැඩි වී ඇතැයි මහ බැංකුව සඳහන් කරයි.

මේ වසරේ මාර්තු මාසයේදී මෙරටට ලැබුණු විදේශ සේවා ප්‍රේෂණ එක්සත් ජනපද ඩොලර් මිලියන 693කි. සංචාරක පැමිණීම ඉහළ ගොස් ඇත. රජයේ සුරැකුම්පත් සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 49ක ලැබීම් වාර්තා කොට ඇත. ගෙවීම් සිදුව ඇත්තේ ඩොලර් මිලියන 17ක් පමණි. කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ලැබීම් ඩොලර් මිලියන 8ක් වාර්තා කළ අතර ගෙවීම් ලෙස ඩොලර් මිලියන 13ක් වාර්තාවී තිබේ.

ශ්‍රී ලංකාවේ දළ නිල සංචිතය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.5ක් දක්වා වැඩි වී ඇති අතර මාස 4.1 ආනයන ආවරණය කිරීමට මෙම මුදල ප්‍රමාණවත් බව ද මහ බැංකුව කියා සිටියි. ශ්‍රී ලංකාවේ රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 2.3%කින් අවප්‍රමාණය වී ඇත. වසර 2024 අවසානයේදී රුපියල් 292.58ක් වූ ඩොලරයේ අගය 2025 මාර්තු අවසන් වනවිට රුපියල් 299.62කි.

ජේ. මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT