Home » හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදුව

හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදුව

by sachintha
May 2, 2025 1:00 am 0 comment

මේ රටේ පොදු මහජනතාවට නොලැබෙන කිසිවක් ජනාධිපතිවරයා ලෙස තමාට හිමි විය යුතු නැතැයි වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූයේ ස්වකීය ධුරයේ දිවුරුම් දුන් දිනයේදී ම ය. එමඟින් කියවුණේ මෙතෙක් කලක් පැවති ප්‍රභූ දේශපාලනික ක්‍රියාදාමයට අවසන් තිත තබන බවයි.

මෙපමණ කාලයක් මුළුල්ලේ සිදු වූයේ ජනතා පරමාධිපත්‍ය බලය මත බලයට පත් වන විවිධ දේශපාලකයන් එකී බලය උපයෝගි කර ගෙන නොයෙකුත් ආකාරයේ සැප සම්පත් භුක්ති විඳීම ය; ජනතා බදු මුදල්, රාජ්‍ය ධනය හිතුමතේ වියදම් කිරීම ය. ගෙවුණු මැතිවරණ දෙකකදීම ජනතා මතයෙන් කියවුණේ එකී දූෂිත, නාස්තිකාර පාලන ක්‍රමවේදය හමාර කරන ලෙස ය; විවිධ වූ නීතිමය ප්‍රතිපාදන හා ව්‍යවස්ථාමය බලතල ඔස්සේ හිමිකර ගත් වරප්‍රසාද කප්පාදු කරමින්, ජනතාවට සහන සලසන ලෙස ය.

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ දීමනා කප්පාදු කිරීමේ පියවරක් ලෙස ඔවුන් තමන්ට හිමි සීමාවෙන් ඔබ්බට ගොස් අත්කරගෙන ඇති වරප්‍රසාද යළි භාර දෙන ලෙස පසුගියදා නිවේදනය කර තිබුණත්, ඒ සඳහා හිටපු ජනපතිවරුන් නිසි සංවේදිතාවක් දක්වා තිබුණේ නැත. ඒ අනුව හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් දී තිබූ වාහන තුනෙන් එකක් නැවත භාර දෙන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් කරන ලද දැනුම් දීමට අනුව මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ මහත්වරුන් තමන් සතුව තිබූ වැඩිපුර වාහන යළි භාර දී තිබිණි. එහෙත් මේ ඉල්ලීමට හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රතිචාර දක්වා තිබුණේ නැත.

කැබිනට් අමාත්‍යවරයකුට හෝ හිටපු ජනාධිපතිවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව මේ පියවර ගෙන තිබිණි.

1986 අංක 4 දරන ජනපතිවරුන්ගේ වරප්‍රසාද හිමිකම් පනතට අනුව හිටපු ජනාධිපතිවරයකුට විශ්‍රාම වැටුපක්, නිල නිවෙසක්, කාර්යාලයක් සහ කාර්යමණ්ඩලයක්, ලේකම්වරයෙක්, ආරක්ෂක පිරිසක් සහ නිල රථයක් අයත් වේ.

1986 අංක 4 දරන පනතේ 2 වැනි වගන්තියට අනුව සෑම හිටපු ජනාධිපතිවරයකුටම සහ හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවකටම ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය ඇතුළත වාසය සඳහා උචිත නිවාසයක් නිවාස කුලියෙන් තොරව සැපයිය යුතු ය. යම් හෙයකින් උචිත නිවාසයක් සපයා ගැනීමට නොහැකි අවස්ථාවක, අවස්ථාවෝචිත පරිදි ඔහුට හෝ වැන්දඹුවට ගෙවිය යුතු මාසික විශ්‍රාම වැටුපෙන් තුනෙන් එකකට සමාන මාසික දීමනාවක් ගෙවිය යුතු යැයි ද එහි සඳහන් ය. පනතේ 3 වැනි වගන්තියට අනුව ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් ධුරය දරන තැනැත්තාට තත් කාලයේ ගෙවනු ලබන මාසික වැටුපට සමාන දීමනාවක් සෑම ජනාධිපතිවරයකුට ම ගෙවිය යුතු ය. එසේම අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම් ධුරය දරන තැනැත්තකුගේ මාසික වැටුපට සමාන මාසික ලේකම් දීමනාවක් ජනාධිපතිවරයකුගේ වැන්දඹුවකට ගෙවිය යුතු ය. එසේම නිල ප්‍රවාහන සහ අදාළ පහසුකම් සැලසිය යුතු බවද මේ පනතේ සඳහන් ය.

පනතේ 4 වැනි වගන්තියට අනුව හිටපු ජනාධිපතිවරයකු මියගිය අවස්ථාවක ඔහුට ලැබීමට හිමිකම තිබූ හෝ ජනාධිපති ධුරය දැරීම නතර වූ අවස්ථාවේදී ඒ හිටපු ජනාධිපතිවරයාට ලැබෙන්නට හිමිකම තිබූ මාසික වැටුපෙන් තුනෙන් දෙකකට සමාන විශ්‍රාම වැටුපක් හිටපු ජනාධිපතිවරයාගේ වැන්දඹුවට ඇයගේ ජීවිත කාලය තුළදී ගෙවිය යුතු ය. එසේම, මේ පනතේ 5 වැනි වගන්තියට අනුව මේ විශ්‍රාම වැටුප් සහ ගෙවීම් රජයේ ඒකාබද්ධ අරමුදලෙන් ගෙවිය යුතු බවද දන්වා තිබේ.

ප්‍රභූ දේශපාලනික පෙළැන්තිය විසින් තමන්ට හිමි වරප්‍රසාද ව්‍යවස්ථානුකූල මට්ටමට පත් කොට ගෙන තිබුණේ එලෙසිනි. මේ අනුව කවර පාලන තන්ත්‍රයක් මාරු වුව ද මෙකී නීතිමය තත්ත්වය යටතේ ඔවුන්ට හිමි වරප්‍රසාද සහ දීමනා සැපයිය යුතුව ඇත. එබැවින් මේ වරප්‍රසාද කප්පාදු කළ යුත්තේ ද ව්‍යවස්ථානුකූල තත්ත්වයක් මඟිනි. හිටපු ජනාධිපතිවරුන්ගේ බලතල හා වරප්‍රසාද කප්පාදු කළ යුතුව ඇත්තේ තවත් පනතක් මඟිනි. වර්තමාන ජනාධිපතිවරයා උත්සාහ දරා ඇත්තේ ඒ තත්ත්වයට ය. මේ පියවර සම්බන්ධයෙන් ජන සමාජයේ කිසිවකුගෙන් හෝ ප්‍රතිවිරෝධයක් එල්ල විය නොහැකි ය.

2023 වර්ෂයේ ගිණුම් වාර්තා අනුව හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට විශ්‍රාම ප්‍රතිලාභ ලෙස ලක්ෂ 107ක් ද වෙනත් වියදම් යටතේ තවත් ලක්ෂ තුන්සියයක් ද වෙන් කර තිබූ බව සඳහන් වේ. මහින්ද රාජපක්ෂ මහතාට ඒ වසරේදී රුපියල් ලක්ෂ 227ක් ද මෛත්‍රීපාල සිරිසේන හා ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ටත් තවත් ඒ හා සමාන මුදලක් ද වෙන් කර තිබිණි.

මෙලෙස රුපියල් මිලියන ගණනින් හිටපු ජනපතිවරුන් නඩත්තුව සඳහා රාජ්‍ය ධනය වෙන් කිරීම කවර සාධාරණ ක්‍රියාවලියක් දැයි යළි යළිත් ප්‍රශ්න කළ යුතුව ඇත. 2024 මහ බැංකු වාර්තාවේ සඳහන් වන පරිදි, තවමත් නිසි පහසුකම් නොලබන පාසල් රැසක් පවතී; උදෑසන ආහාර වේල නොලැබෙන පාසල් දරුවෝ රැසක් සිටිති.

හිටපු ජනාධිපතිවරයකුට ජීවත් වීමට සරිලන විශ්‍රාම වැටුපක් පිරිනමා, ඉතිරි මුදල් මෙවැනි සමාජ සත්කාරයන් සඳහා යෙදවීම කොතරම් නම් ඵලදායක ක්‍රියාවලියක් ද? එහෙත් හිටපු ජනපතිවරුන් එකී පූර්වාදර්ශය දීමට කටයුතු කරන්නේ ද යන ගැටලුව අප හමුවේ පවතී.

ජාතික ජන බලවේග රජය විසින් ඉදිරිපත් කරන ලද අය-වැය ලේඛනයෙන් හිටපු ජනාධිපතිවරුන් සඳහා වන ප්‍රාග්ධන වියදම් කප්පාදු කෙරුණේ එහි පියවරක් වශයෙනි. ප්‍රභූ දේශපාලනය හමාර කිරීම සඳහා නම් ඔවුන්ට ස්වකීය පාලන කාලයෙන් අනතුරුව හිමි වන මෙකී බලතල සහ වරප්‍රසාද කප්පාදු කිරීම ද අත්‍යවශ්‍යයෙන් ම සිදු කළ යුතුව ඇත.

වත්මන් ජනාධිපතිවරයා සඳහන් කරන ආකාරයට, පොදු මහජනතාවට හිමි නොවන කිසිවක් දේශපාලකයන්ට හිමි විය යුතු නැත. ඔවුහු ද මේ ජන සමාජයේ කොටස්කරුවෝ ය.

සැමට සමානව සලකන, සමාන අයිතිවාසිකම් භුක්ති විඳින පුරවැසි ජන සමාජයක් බිහිකර ගත හැක්කේ එවිට ය. ඒ ආදර්ශ ගලා යා යුත්තේ ඉහළ සිට පහළට ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT