Home » අපේ රටට රියැලිටි වැඩසටහන් අවශ්‍යයි

අපේ රටට රියැලිටි වැඩසටහන් අවශ්‍යයි

-දෙරණ මාධ්‍ය ජාලයේ වැඩසටහන් අංශයේ අධ්‍යක්ෂිකා ශර්මිලා ධර්මරාසා ෆොන්සේකා

by sachintha
May 2, 2025 1:32 am 0 comment

රූපවාහිනි මාධ්‍යයට රියැලිටි වැඩසටහන් හඳුන්වාදෙමින් වසර 20කට අධික කාලයක් රූපවාහිනි වැඩසටහන් අධ්‍යක්ෂිකාවක් ලෙස කටයුතු කරන දෙරණ මාධ්‍ය ජාලයේ වැඩසටහන් අංශයේ අධ්‍යක්ෂිකා ශර්මිලා ධර්මරාසා ෆොන්සේකා සමඟ කළ සුහද පිළිසඳරකි, මේ.

මෙරට රූපවාහිනි මාධ්‍යයට පළමුවෙන්ම රියැලිටි වැඩසටහන් හඳුන්වාදීම සිදුවූ ආකාරය පැහැදිලි කරමු ?

රියැලිටි වැඩසටහන් ඇතුළු නව වැඩසටහන් ගණනාවක් මම ලංකාවට හඳුන්වාදී තිබෙනවා. 2007දී කුඩා දරුවන් වෙනුවෙන් LITTLE STAR වැඩසටහන නර්තනය සහ ගායනය කියන අංශ දෙකෙන්ම හඳුන්වා දුන්නා. පසුව CITY OF DANCE වැඩසටහන තරුණ තරුණියන් වෙනුවෙන් ඉදිරිපත් කළා. මේ වැඩසටහන හරහා විශාල දක්ෂයන් පිරිසක් බිහි වුණා. එතුළින් මේ කර්මාන්තයම වෙනස් වුණා. තරුණ තරුණියන් වෙනස්ම පැත්තකට යොමු වුණා. ගොඩක් නූතන නර්තන අංග ආවා. තරුණ පිරිසට විවිධ අවස්ථා හම්බ වුණා. මේක අලුත් තත්ත්වයක්. අපි මේ වැඩසටහන් කරන්න ගත්තාම අනෙක් නාළිකාත් මේ වගේ වැඩසටහන් කරන්න පටන් ගත්තා. DREAM STAR කියන්නේ නම් අන්තර්ජාතික වැඩසටහනක්. ඒක අපේම ආකෘතියකට අපි කරගෙන ඉන්නවා.

අද වන විට LITTLE STAR සහ DREAM STAR තමා ලංකාවේ තියෙන දීර්ඝම රියැලිටි වැඩසටහන් වෙන්නේ. අනිත් ඒවා පටන් ගත්තාට අතරමඟදී නැවතුණා.

මුල් කාලයේදී REAL LEADER කියලා වැඩසටහනක් කළා. අපි මේ වැඩසටහන හඳුන්වා දුන්නේ 2005දී. ඒ නිසා මේ අවුරුද්ද අපට විශේෂයි. ඒ නිසා මේ වැඩසටහනම නැවතත් හඳුන්වා දෙන්න කටයුතු කරනවා. ඒ වගේ නායකයන් ලංකාවට ඕනෙ කියලා හිතනවා.

SIXTY PLUS කියලා වැඩසටහනකුත් හඳුන්වා දුන්නා. ඒ වැඩසටහන තාම කවුරුත් කොපි කරලා නෑ. ඒ ගැන සතුටුයි. STAR CITY කියලා වැඩසටහනකුත් කළා. මම මේ වැඩසටහන හඳුන්වා දුන්නාට පසුව නාළිකා සෑහෙන සංඛ්‍යාවක් මේ වැඩසටහන කොපි කළා.

ඔබ හඳුන්වා දුන් වැඩසටහන් අනෙක් නාළිකාත් ක්‍රියාවට නැංවීම ගැන මොකද හිතෙන්නේ ?

අපිව අනුගමනය කරනවා කියන එක ගැන හරිම සතුටුයි. ඒක හොඳයි කියන එකනේ එයින් කියැවෙන්නේ. වැඩසටහන් හඳුන්වාදීම හරි අමාරු දෙයක්. ලංකාවේ ප්‍රකාශන හිමිකම කියන එකක් නෑනේ. ඒක තමා ලොකුම ප්‍රශ්නය. අපි එකක් කළොත් ඒක ලියාපදිංචි කරන්න බෑ. එනිසා අනිත් අයට ඒක කොපි කරන්න අවස්ථාව තියෙනවා. ඒ ගැන එක පැත්තකින් බලද්දී සතුටකුත් අනෙක් පැත්තෙන් බලද්දී දුකකුත් තියෙනවා.

රියැලිටි වැඩසටහන්වලට අමතරව ඔබ අතින් නිර්මාණය වූ අනෙක් වැඩසටහන් ගැනත් මතක් කරමු. ?

ලංකාවේ පළවෙනි වතාවට මම තමා ‘කලා ගම අවුරුදු’ වැඩසටහන හඳුන්වා දුන්නේ. නළු නිළියන් සියලු දෙනාම අරගෙන ඇවිත් අවුරුදු උත්සවයක් කළේ දෙරණින් තමයි. ඊට පස්සෙ තමයි, අනෙක් නාළිකා සියල්ලම ඒ වැඩසටහන කළේ. මේ වැඩසටහන පටන්ගෙන දැන් අවුරුදු විස්සක් ගතවෙලා තියෙනවා. කොහොමද පටන් ගත්තේ කියලා කියන්න බෑ. එක එක දැක්මවල් තියෙනවා. 2007දී තමයි අපි ‘කලා ගම අවුරුදු’ පටන් ගත්තේ. මේ වැඩසටහන ඉතා සුවිශේෂී එකක්.

රියැලිටි වැඩසටහන් ගැන බහුතරයක් ජනතාව තුළ පවතින්නේ ධනාත්මක ආකල්පවලට වඩා ඍණාත්මක ආකල්ප. ඇයි එහෙම වෙන්නේ ?

දක්ෂ නැත්නම් කාටවත් ඉදිරියට යන්න බෑ. මම නම් හිතන්නේ මේ රියැලිටි වැඩසටහන් හොඳයි. කවුරු මොනවා කිවුවත් අපි ඒ අවස්ථාව ඒ අයට දුන්නේ නැත්නම් වෙන කවුද ඒ අවස්ථාව දෙන්නේ. කවුරුත් දෙන්නේ නෑ. සමහරුන් කියන්න පුළුවන් මේ සංගීත සහ නර්තන වැඩසටහන් හරිම පීඩාකාරී දේවල් කියලා. නමුත් අපි කාටවත් බල කරන්නේ නෑ. මේ හැම ළමයෙක්ම එන්නේ ගුරුවරුන්ගේ සහ මවුපියන්ගේ අනුදැනුම ඇතිවයි. ඒ අය මේ දරුවන් පිටිපස්සෙ ඉන්නවා. ඒ පිරිස දරුවන් සමඟ නැත්නම් අපට මේ වැඩසටහන් කරන්න බෑ. සමහර වෙලාවට එක දරුවෙක් පිටිපස්සෙ එයා ඉගෙන ගන්න පාසලේ සියලු දෙනාම ඉන්නවා. ඒ පොහොසත් බව නැත්නම් මේක කරන්න බෑ. එනිසා මගේ පැත්තෙන් නම් මේ ගැන හිතන්නේ ධනාත්මකවම තමයි. මේ එන ළමයි ඔක්කොටම තමා ගැන විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය මේ ළමයින්ට සාර්ථකව ඉදිරියට යන්න රුකුලක් වෙනවා. මෙහිදී ජය පැරදුණ දෙකම ලැබෙන්න පුළුවන්.

ඒ විශ්වාසය අපට ලැබුණේ නෑ. අපි පොඩි කාලේ මේ වගේ තරග තිබුණෙත් නෑ. අපි විශ්වාසය ඇති කරගන්නේ යෞවනයන් වෙලා රැකියාවට ගිහින් තමයි. අද ඉන්නේ පුදුම දක්ෂ ළමයි. ඒ නිසා කවුරු මොනවා කිවුවත් මේ වගේ වැඩසටහන් අපේ වගේ රටකට වුවමනායි.

රියැලිටි වැඩසටහන්වලට අමතරව අනෙක් නිර්මාණකරණ වැඩකටයුතු කොහොමද ?

කුඩා මාලා නාට්‍ය (MINI SERIES) කියන වැඩසටහන මම තමයි ලංකාවට හඳුන්වා දුන්නේ. ඒකට ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතාම ඉහළයි. ‘පොදු’ තුළින් තාරුණ්‍යයේ පිවිතුරු ආදරය කියන සංකල්පය ප්‍රේක්ෂකයාට ලබා දෙන්න අපි උත්සාහ කළා. හිතුවා වගේම ප්‍රේක්ෂකයන් බොහොම ආදරයෙන් ‘පොදු’ වැළඳ ගත්තා. ඇත්තටම මෙහි දෙවැනි කතා මාලාවකට යන්න අපට ලොකු අදහසක් තිබුණේ නෑ. ඒත්, ඒ සඳහා නොයා බැරි තරමට රසික ආදරය සහ ප්‍රතිචාර ලැබුණු නිසා ‘පොදු 2’ත් කළා. ටෙලි චිත්‍රපට මේ වෙනකොට හතරක් කරලා තියෙනවා. ‘වසන්තේ’, ‘ආදර වසන්තේ’, ‘ඉරයි හඳයි’, ‘වර්ෂා’ තමා ඒ හතර. ‘වසන්තේ’ කරලා දැන් අවුරුදු තුනක් විතර වෙනවා.

ඉදිරියට වැඩ කටයුතු කොහොමද ?

දෙරණ ඇතුළෙම නව වැඩසටහන් කිහිපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. සිනමා ෆිල්ම් එකක් කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. ලංකාවේ කාන්තාවක් විදිහට මම තමයි දීර්ඝ කාලයක් වැඩසටහන් අධ්‍යක්ෂණයේ යෙදිලා ඉන්නේ. ඒකත් මට හරිම ගෞරවයක්.

 

දිල්හානි

ජයවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT